Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Tuesday, December 29, 2009

ජ. වි. පෙ. වෛරී දේශපාලනය


ජනතා විමුක්‌ති පෙරමුණ තවත්a භීෂණයක්‌ කැඳවා ගැනීමට උත්සාහ කරන බව පැහැදිලිය. සිහි නුවණින් කටයුතු නොකළහොත් 1971 දී හා 1989 - 1992 කාල පරිච්ඡේදයෙහි දී සිදු වූවාට වැඩි විනාශයක්‌ ජ. වි. පෙරමුණට හා එමගින් රටට අයත්වන බව පැහැදිලිය. අවුරුදු තිහක ත්‍රස්‌තවාදයක්‌ යටතේ දුක්‌ විඳි ජනතාවට යම් යම් අමාරුකම් මධ්‍යයෙහි වුවද අද බියෙන් තොරව හුස්‌ම ගැනීමේ අවස්‌ථාව උදා වී ඇත. එවැනි ජනතාවක්‌ නැවතත් භීෂණයකට දක්‌කා ගෙන යැම කිසි ලෙසකින්වත් කළ යුත්තක්‌ නොවේ.

පසුගිය වකවානුවෙහි ජ. වි. පෙ. බලා සිටියේ ආණ්‌ඩුව දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ බලය බෙදන තුරු ය. ඉන්දියාවේ අවශ්‍යතාවට ඒ සිදුවෙතැයි ජ. වි. පෙ. බලාපොරොත්තු විය. එවැන්නක්‌ සිදු විණි නම් ඇතැම් දේශප්‍රේමී යෑයි කියා ගන්නා කොටස්‌වල ද සහාය ජ. වි. පෙරමුණට ලැබෙන්නට තිබිණි. මේ දේශප්‍රේමි කොටස්‌ අතර ආණ්‌ඩුවෙන් විවිධ වරප්‍රසාද, තනතුරු හා වෙනත් දේ බලාපොරොත්තුවෙන් සිට ඒ නොලැබුවෝ ද වෙති. ආණ්‌ඩුවෙන් පළිගැනීමට බලා සිටි ඔවුහු ජ. වි. පෙරමුණේ දේශප්‍රේමීත්වය දෙස මහත් ඕනෑකමකින් හා උනන්දුවකින් බලා සිටියහ.

ඉන්දියාව අතීතයේ දී ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව අපේ ද ප්‍රසාදයක්‌ නැත. ඉන්දියාව ක්‍රියාකර ඇත්තේ අපට ටොක්‌කක්‌ ඇන යමක්‌ කියා දීමට උත්සාහ කරන වැඩිමහල් සොහොයුරකු ලෙස නම් නොවේ. එහෙත් පසුගිය මාස කිහිපයක්‌ තිස්‌සේ ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් ඊට කලින් තිබු ප්‍රතිපත්තියට වෙනස්‌ පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැහැදිලිය. ඒ වෙනස කුමක්‌ නිසා සිදුවිණි දැයි කීමට තවමත් කල් මදිය. සමහර විට ඉන්දියාව ආර්ථික ක්‍ෂෙත්‍රයෙහි ලංකාවට බලපෑම් කරනවා විය හැකිය.

එහෙත් දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිපත්තියෙහි යම් වෙනසක්‌ පසුගිය මාස කිහිපයෙහි සිදු වී ඇත. ඊනියා අවතැන්වූවන්ගේ තත්ත්වය පරික්‍ෂා කිරීමට තමිල්නාඩු මහඇමැති දියණිය ද සාමාජිකාවක වූ තමිල්නාඩු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ උතුරට ගොස්‌ සැපයූයේ ලංකාණ්‌ඩුවට අවාසි සහගත වාර්තාවක්‌ නොවේ. මානව අයිතිවාසිකම් කඩකිරීමේ හා යුද්ධ අපරාධ සිදු කිරීමේ චෝදනා ආණ්‌ඩුවට එල්ල කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බටහිර රාජ්‍යවලට, මාධ්‍යකරුවන්ට හා ඔවුන්ගේ ලාංකික එහෙත් විජාතික හෙන්චයියන්ට තමිල්නාඩු මන්ත්‍රී කණ්‌ඩායමෙන් කිසිම වූ ආකාරයක උත්තේජනයක්‌ නො ලැබිණි.

ඉන්දියාවේ ඒ ප්‍රතිපත්තිමය වෙනස කුමක්‌ නිසා සිදු වුවද ඉන් මහත් අමාරුවකට පත්වූයේ ජ. වි. පෙරමුණ ය. ඉන්දියාවේ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට යන බලය බෙදීමකට ආණ්‌ඩුව තල්ලු කරාවිය යන බලාපොරොත්තුවෙන් ජ. වි. පෙ. එකල ලක ලැහැස්‌ති වූ බව පැහැදිලිය. ඒ සඳහා ජ. වි. පෙ. පක්‍ෂ සාමාජිකත්වය ද සුදානම් කෙළේය. ඉතා ඉක්‌මන් ප්‍රතිඵල බලාපොරොත්තුවන ජ. වි. පෙ දේශපාලන බල ඇණිවලට ජාතිකත්වය ඔස්‌සේ ලැබීමට යන අවස්‌ථාව පිළිබඳ යම් වැටහීමක්‌ තිබෙන්නට ද ඇත.

එහෙත් ජාතිකත්ව තලයෙහි එවැන්නක්‌ ඉක්‌මනින් සිදු නොවීම ජ. වි. පෙරමුණෙහි අවාසියට හේතු විය. ඊනියා සටන්වලට සුදානම් ව සිටි පක්‍ෂ මධ්‍ය සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන නොසන්සුන් වීමට පටන් ගැණිනි. එහි ප්‍රතිඵලය වූයේ නොකෙරෙන දේශප්‍රේමී අරගලය වෙනුවට නැවතත් ඉක්‌මනින්ම ආර්ථික හා විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රවල කෙරෙන අරගල සඳහා මාරුවීමට ජ. වි. පෙරමුණට සිදු වීමය. මෙයින් අදහස්‌ කෙරෙන්නේ ජ. වි. පෙ මෑතක්‌ වන තුරු ආර්ථික හා දේශපාලන ක්‍ෂෙත්‍රවල ක්‍රියාත්මක නොවූ බව නොවේ. පක්‍ෂයේ ප්‍රධාන දේශපාලන දෙමළ බෙදුම්වාදයෙන් ආර්ථික හා විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රවලට මාරුවීමක්‌ මෑතක දී සිදු විය. මේ දිනවල නවක සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට ජ. වි. පෙරමුණට සාම්ප්‍රදායික වාම දේශපාලනයට මාරුවීමේදී ආධාරයක්‌ විය.

ජ. වි. පෙ ආරම්භයේ සිටම ජාතිකත්වය හා මාක්‌ස්‌වාදය අතර දෝලනය විය. ජාතිකත්වය හා මාක්‌ස්‌වාදය අතර වැඩි බර මාක්‌ස්‌වාදය දෙසට වූවිට ජ. වි. පෙරමුණේ ඒ ගමන විනාශය දෙසට විය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විසින් බිහිකෙරුණ ද මාක්‌ස්‌වාදය නූතනත්වය විසින්ම බිහිකෙරුණු ධනවාදයට විරුද්ධ විය. මාක්‌ස්‌වාදය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විසින් බිහිකෙරුණේ නූතනත්වයට එරෙහිව නොවුණ ද නූතනත්වය පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට එරෙහිවය. මාක්‌ස්‌වාදය පදනම් වූයේ බටහිර කතෝලික චින්තනයෙහි ය. ඒ පදනම මාක්‌ස්‌වාදයට ලැබුණේ ජර්මන් සම්ප්‍රදායය ඔස්‌සේය. ගෙගල් පදනම් වූයේ ද කතෝලික චින්තනයෙහි ය. ඔහුගේ ඊනියා අපෝහකය කතෝලික චින්තනයෙහි ත්‍රිකෝටික න්‍යායෙහිම වර්ධනයකි. ගෙගල් ස්‌ථිතිකව පැවති ත්‍රිකෝටික න්‍යාය ගතික න්‍යායක්‌ බවට පත්කිරීමට සමත්විය.

මෙය තවදුරටත් විස්‌තර කළ යුතු නමුත් මේ ඒ සඳහා අවස්‌ථාව නොවේ. ඒ සුළු විස්‌තරය පවා කෙරුණේ ජ. වි. පෙරමුණේ දේශපාලනයේ මුල් සොයා ගැනීම සඳහා ය. තාවකාලිකව හෝ මාක්‌ස්‌වාදී රාජ්‍ය බිහිවූයේ මාක්‌ස්‌ බලාපොරොත්තු වූ ආකාරයට බටහිර යුරෝපීය රටවල නොවේ. ඒ නැගෙනහිර යුරෝපයට ආසියාවට හා කියුබාවට සීමා විය. මේ සෑම රටකම මාක්‌ස්‌වාදී පක්‍ෂවලට බලයට ඒමට උපකාරී වූයේ ඊනියා කම්කරු පංති දේශපාලනයක්‌ නොව දේශප්‍රේමී තරුණ නායකයන්ගේ ජාතිකවාදී දේශපාලනයකි.

මෙහිදී කියුබාව විශේෂ තැනක්‌ ගන්නේ කස්‌ත්‍රෝ හා ඔහුගේ තරුණ සගයන් බැටිස්‌ටාට විරුද්ධව දේශප්‍රේමී අරගලය ආරම්භ කළ අවධියෙහි ඔවුන් මාක්‌ස්‌වාදීන්වත් නොවූ නිසාය. ඔවුහු බලය අත්පත් කරගැනීමෙන් පසු හුදු පැවැත්ම සඳහා ම මාක්‌ස්‌වාදීන් බවට පත්වූහ. ඇතැම් ට්‍රොට්‌ස්‌කීවාදීන්ට කස්‌ත්‍රෝගේ කියුබාව සමාජවාදී රාජ්‍යයක්‌ ලෙස හඳුනාගැනීම ප්‍රශ්නයක්‌ වූයේ කියුබාව බිහිවීම මාක්‌ස්‌වාදී න්‍යායට හසුනොවීම නිසාය. එපමණක්‌ නොවේ. මාක්‌ස්‌ගෙන් පසුව බිහිවූ හොඳම මාක්‌ස්‌වාදියා ලෙස සැලකිය හැකි ට්‍රොට්‌ස්‌කිට ස්‌ටාලින්වාදී රුසියාව තනි රටක සමාජවාදයක්‌ ගොඩනැගීමට ගිය විකෘතියක්‌ පමණක්‌ විය.

ලෙනින් බලයට පත්වූයේ සම්භාව්‍ය මාක්‌ස්‌වාදය අනුව කටයුතු කිරීමෙන් නොව මාක්‌ස්‌වාදය සංශෝධනය කිරීමෙනි. වැඩි විස්‌තර සඳහා මාක්‌ස්‌වාදයේ දරිද්‍රතාව කියවන්න. මාඕ ගැන කියනුම කවරේ ද? මේ බොහෝ තරුණ නායකයනට තිබුණේ රාජාණ්‌ඩුවකින් හෝ ඒකාධිපතිත්වයකින්ම තම රටවල් මුදාගැනීමේ අපේක්‍ෂාවය. මාක්‌ස්‌වාදය ඔවුන්ගේ අරගලයට අවශ්‍ය යුක්‌තියුක්‌තකරණය සැපයුවා පමණය. මාක්‌ස්‌වාදයේ උපකාරයෙන් තම රටවල තිබූ රාජ්‍ය පෙරළා දැමීම ඓතිහාසික ව සිදුවිය යුතු කරුණක්‌ බව පෙන්වීමට ඔවුහු කටයුතු කළහ.

ජ. වි. පෙ. උපන්නේ මාඕවාදී පක්‍ෂයක්‌ ලෙසය. මාඕවාදී පක්‍ෂයක්‌ ලෙස එයට යම් ජාතිකත්වයක්‌ තිබිණි. එහෙත් ඒ අතර මාඕවාදයෙන් උරුමකරගත් ඊනියා කම්කරු පංති විප්ලවයද පක්‍ෂයේ අරමුණක්‌ විය. ලෙනින්, මාඕ, කස්‌ත්‍රෝ ආදී කිසිවකුටවත් ඒ ඒ රටවල ඊනියා කම්කරු පංතියක්‌ නොතිබිණි. කස්‌ත්‍රෝ ඒ ප්‍රශ්නය ගැන කිසිදු සැලකිල්ලක්‌ මුල දී නොදැක්‌වූයේ ඔහු මාක්‌ස්‌වාදියකු නොවූ නිසාය. එහෙත් ලෙනින් හා මාඕ තම පක්‍ෂ ඊනියා කම්කරු පංතිය වෙනුවට ආදේශ කළහ. පක්‍ෂය ඊනියා කම්කරු පංතියේ පක්‍ෂය විය. මාඕ මුළුමනින්ම මෙන් චීනයේ ගොවි ජනතාව මත පදනම් විය. දේශප්‍රේමය විසින් ගොවි ජනතාව මාඕ දෙසට තල්ලු කරනු ලැබූහ.

එහෙත් ජ. වි. පෙරමුණට අඩුම තරමින් මෙරටට වැඩිහිටි ගැමි ජනතාව වත් ආකර්ෂණය කර ගැනීමට නො හැකි විය. හැටේ දශකය වන විට ශ්‍රි. ල. නි. පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වී සිටියේය. මෙරට ඒකාධිපති ආණ්‌ඩුවක්‌ නොවීය. බණ්‌ඩාරනායක මැතිනිය පැහැදිලිව ම අධිරාජ්‍ය විරෝධී දේශපාලනයක නිරත ව සිටියාය. ඇගේ පක්‍ෂයට විරුද්ධව ජාතික අරගලයක්‌ කිරීම හිතළුවක්‌ පමණක්‌ විය. ජ. වි. පෙරමුණට මාඕගේ පක්‍ෂයට මෙන්ම තරුණ නායකත්වයක්‌ තිබූ බව සැබෑ ය. එහෙත් එයට වැඩිහිටි අනුගාමිකත්වයක්‌ නොවීය. ජාතිකත්වයක්‌ ඇති වැඩිහිටියන් සිටියේ ශ්‍රී. ල. නි. පක්‍ෂය සමගය. ටී. ඩී. සිල්වා වැනි කිහිප දෙනකු හැරුණු විට එදත් අදත් ජ. වි. පෙරමුණට ඇත්තේ සුළු උගත්කමක්‌ ඇති ගැමි තරුණ අනුගාමිකත්වයක්‌ පමණය. මොවුන් ජ. වි. පෙරමුණට ඇදී එන්නේ ද මූලික වශයෙන් ජාතිකත්වයක්‌ නිසා නොව සමාජය කෙරෙහි ඇති වෛරය නිසාය. ඒ වෛරය ඊනියා පංති වෛරයක්‌ බවට පත්කිරීම මාක්‌ස්‌වාදයේ පිහිටෙන් සිදුවෙයි. දේශප්‍රේමය වෙනුවට වෛරය ආදේශ වූ විට අවසානය විනාශය පමණකි. රටට විනාශය අත් නොකර ජ. වි. පෙ. ජාතිකත්ව මගට පිවිසිය යුතුය.

No comments:

Post a Comment