Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Tuesday, January 26, 2010

බොරුව හා තර්ජනය

සී. එ. චන්ද්‍රප්‍රේම

මෙම ඡන්ද ව්‍යාපාරයේ අප කාගේත් අවධානයට යොමුවිය යුතු කාරණා කීපයක්‌ ඇත. මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යනු අප කවුරුත් දන්නා හඳුනන පැරණි ප්‍රපංචයකි. අපේ අවධානයට යොමුවිය යුත්තේ කලින් මැතිවරණවලදී දක්‌නට නොලැබුණු අළුත් අංග කීපයක්‌ පිළිබඳවයි. සර්වජන ඡන්දය හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද කිසිම මැතිවරණයකට වඩා මෙම ඡන්දයේදී වැරදි තොරතුරු හා පට්‌ටපල් බොරු විශාල කාර්ය භාරයක්‌ ඉටුකර තිබීම වඩාත්ම භයානක අංගයයි. වෙබ් අඩවි, විද්යුත් තැපෑල හා එස්‌. එම්. එස්‌. පණිවුඩ මේ වැරදි තොරතුරු හා පච ප්‍රචාරය කිරීමට භාවිතා කොට තිබීම අනාගත ඡන්ද ව්‍යාපාර කෙබඳු ස්‌වරූපයක්‌ ගනීදැයි අප තුළ බියක්‌ ඇති කරයි. මේ කාරණයේදී ප්‍රධාන චූදිතයා වන්නේ විපක්‍ෂයයි. ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍ය තුළ විපක්‍ෂයට ඉඩක්‌ නොදී තමන්ගේ ඡන්ද වැඩවලට පමණක්‌ භාවිතා කර තිබුණද ඒ ප්‍රශ්නය මෙම රාජ්‍ය මාධ්‍යය පුද්ගලීකරණය කිරීමෙන් එක පෑන් පහරකින් විසඳිය හැකි එකකි. නමුත් වෙබ් අඩවි හා විද්යුත් තැපෑල හරහා පච ප්‍රචාරය කිරීම එතරම් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක්‌ නොවේ. එම නිසා මෙය අනාගතයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් හානියක්‌ වීමට ඉඩ ඇත.

මෙම ඡන්ද ව්‍යාපාරය දෙස ආපසු හැරී බැලුවොත් විපක්‍ෂය විසින් මුලින්ම රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව ජන මතයක්‌ ගොඩනැඟීමට උත්සාහ කළේ පවුලේ සාමාජිකයන් කොළඹ හා වෙනත් නගරවල වටිනා දේපොල හා ව්‍යාපාරික ස්‌ථාන විශාල ගණනක්‌a අයථා ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට කටකතා පැතිරවීමට කටයුතු කිරීමෙනි. මෙසේ මිලදී ගත්තා යෑයි කියන දේපල අතර ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය පිහිටා තිබුණු ඉඩම, කොළඹ 5, බලපොකුණ පාරේ විශාල නිවසක්‌, තංගල්ල බේ හෝටලය, මාතර ලලිතා හෝටලය, ගාල්ලේ ලයිට්‌හවුස්‌ හෝටලය, ෆොaට්‌ට්‍රස්‌ හෝටලය ඇතුළු විශාල දේපොල ප්‍රමාණයක්‌ සඳහන් වෙයි. මෙවැනි දේවල් පැවැසීමෙන් රාජපක්‍ෂ පවුල අයථා ලෙස පොහොසත්වීම පිළිබඳව සමාජය තුළ කෝපයක්‌ ඇති කරන ලදී. ඒ සියලුම චෝදනා බොරු වුණත් මේ කටකතා වැරදි යෑයි කීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා ඒවාට කාලයක්‌ මුළුල්ලේ වර්ධනය වීමට ඉඩ ලැබිණි.

රාජපක්‍ෂ පවුල දේපල මිලදී ගත්තා යෑයි කියන කටකතාවලට සමගාමීව තවත් බොරු ප්‍රචාර දියත් කරන ලදී. රටේ සෑම තැනකම දක්‌නට ලැබෙන විශාල ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රාජපක්‍ෂ පවුල මහා පරිමාණයෙන් හරි හම්බ කරගන්නා බව කියමින් බොරු ගණන් සහිත විද්යුත් තැපැල් පණිවුඩ සෑම තැනකම යැමට පටන් ගත්තේය. එම බොරු ප්‍රචාර ද අදාළ ව්‍යාපෘතිවල වියදම් දෙගුණයකින් වැඩිකොට ඒ සියල්ල රාජපක්‍ෂ පවුල විසින් ගසාකන බවට කියන ලදී. පසුව මේ සියලු චෝදනා එක විද්යුත් තැපැල් පණිවුඩයකට ගෙන විශාල ව්‍යාපෘති, නැතිනම් මිලදී ගැනීම් 14 කින් රුපියල් බිලියන 430 ක මුදලක්‌ ගසාකෑ හැටි ගැන කියන ලදී. අපි ඉකුත් සතියේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මෙකී "එකතු කළ කෘතියේ" අන්තර්ගතය ගැනය. නමුත් මේවාට ද කලින්ම කිසිවකු උත්තර දුන් නැති නිසා විපක්‍ෂය මේ බොරු මත තවත් බොරු ගොඩනැගීමට පටන් ගත්තේය. කලින් හොරෙන් නිර්නාමිකව යවන ලද ප්‍රචාර පසුව විපක්‍ෂයේ නිල මතය බවට පත්වී මේ ගණන් හිලව් රූපවාහිනි සාකච්ඡාවල ද සඳහන් වීමට පටන් ගත්තේය.

එපමණක්‌ නොව මේ හොරකම් කළා යෑයි කියන මුදල් ආපසු ලබාගෙන ඒවායින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු වෙනත් දේවල් කිරීමට හැකි බව ඔවුන් කීමට පටන් ගත්තේය. මේ සියල්ලම එකක්‌ උඩ එකක්‌ ගොඩ නැඟුණු පච කන්දක්‌ විය. රාවය කර්තෘ වික්‌ටර් අයිවන් මහතා කාට හෝ එරෙහි දූෂණ චෝදනා ඉදිරිපත් කරනවා නම් යම් තරමකට හෝ පිළිගත හැකි සාක්‍ෂි ද ඉදිරිපත් කළ යුතු යෑයි කියා සිටිය ද කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් වූයේ නැත. සාක්‍ෂි ඉදිරිපත් වූයේ අනෙක්‌ පැත්තටය. බැසිල් රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන මාතර ලලිතා හෝටලයේ අයිතිකරු තම ව්‍යාපාරය කිසිවකුට විකුණා නැති බවට බැනරයක්‌ ද ප්‍රදර්ශනය කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන ඇපලෝ රෝහල තම ව්‍යාපාරය අයිති ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම හරහා ආණ්‌ඩුවට බව කියමින් දැන්වීම් පළ කළේය.

මේ මුළු ඡන්ද ව්‍යාපාරයේම වංචනික ස්‌වභාවය ඉස්‌මතු කරන තවත් කාරණයක්‌ වන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳ ප්‍රශ්නයයි. සරත් ෆොන්සේකාගේ කඳවුර පවසා සිටින්නේ තමන්ට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් ද සිංහල ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ කියා සිටින්නේ තමන්ට ෆොන්සේකා සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. එසේ වුවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු දෙමළ ප්‍රේක්‍ෂකයන්ට කතා කරන විට කියා සිටින්නේ එයට හාත්පසින්ම විරුද්ධ දෙයකි. ඔවුන් කියා සිටින්නේ ෆොන්සේකා මහතා සමඟ ගිවිසුමක්‌ ඇති බවත් විදේශීය රටවල සාක්‍ෂිකරුවන් ඉදිරියේ අත්සන් කරන ලද නිසා මෙකී ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවත්ය. කේ. තුරෙයිරත්නසිංහම් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක්‌ දෙමළ විද්යුත් මාධ්‍යයකට කර තිබූ අතර ඔහුට පසුව තවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකුත් එවැනිම ප්‍රකාශ දෙමළ විද්යුත් මාධ්‍යයන්ට කර තිබිණි. මේ ප්‍රශ්නයේදී අපි විශ්වාස කළ යුත්තේ මොන කතාවද?

2005 දී ජනතා විමුක්‌ති පෙරමුණ හා හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂට සහයෝගය ප්‍රකාශ කර සිටි විට ඔවුන් ලි�ත ගිවිසුම්වලට අත්සන් තැබුවේය. හෙළ උරුමයට මහින්ද රාජපක්‍ෂ ගැන නොතිබුණු විශ්වාසයක්‌ දෙමළ සන්ධානයට සරත් ෆොන්සේකා ගැන තිබේ යෑයි විශ්වාස කළ හැකිද? මේ ආකාරයට විපක්‍ෂය විසින් දෙමළ සන්ධානය ලවාම සිංහල මිනිසුන්ට එක්‌ කතාවකුත් දෙමළ මිනිසුන්ට ඊට වෙනස්‌ කතාවකුත් කීම අතිශයින්ම භයානක දෙයකි. මේ අනුව සිංහල මිනිසුන් ඔවුන්ට ඡන්දය දාන්නේ නොදෙනවාය යන පදනම මතය. නමුත් දෙමළ මිනිසුන් ඔහුට ඡන්දය දමන්නේ අනිවාර්යයෙන්ම ලැබෙනවාය යන පදනම මතය. මෙය මේ රට නැවතත් මහා ව්‍යාකූලත්වයකට ඇද දමන වට්‌ටෝරුවකි. 1994 දීත් ඉන් පසුව 2001 දීත් පවත්වන ලද මැතිවරණවලදී එකල සිටි විරුද්ධ පක්‍ෂයත් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති තමන්ගේ ස්‌ථාවරය ඉතා විවෘතව ප්‍රකාශ කරන ලදී. එකී ඡන්දවලදී සිංහල ඡන්දදායකයන් මෙන්ම දෙමළ ඡන්දදායකයන් ද ඡන්දය දුන්නේ විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියකටය. එකල සිංහලයන්ට එක දෙයකුත් දෙමළ අයට තව දෙයකුත් කීමට විපක්‍ෂයට උවමනාවක්‌ නොවීය. නමුත් මෙම ඡන්දයේදී මේ තරම් කොලය වසා ගැසීමට ඇති උවමනාව කුමක්‌ද? දෙමළ ජාතික සන්ධානය ගැන මිනිසුන්ට තිබෙන සැකය සාධාරණය.

මහා බ්‍රිතාන්‍යයේ විශාල පිළිගැනීමක්‌ ඇති "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව කොටි සංවිධානය පරාජයවී මාස ගණනක්‌ ගතවී තිබුණද අද වනතුරුත් ඔවුන් දෙමළ ජාතික සංධානය හඳුන්වන්නේ "කොටි හිතවත් දෙමළ ජාතික සංධානය" යනුවෙනි." ඉතින් සිංහල මිනිසුන්ට ඔවුන් ගැන සැකයක්‌ තිබීම පුදුමයට කාරණයක්‌ ද? අද ලංකාවේ කොටි සංවිධානයක්‌ නැත. සිටිය සියල්ලෝම එක්‌කෝ පරලොවය. නැතිනම් සිර කඳවුරු වලය. නමුත් මහා බ්‍රිතාන්‍යයේ තවමත් කොටි දහස්‌ ගණනින් සිටී. "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව "කොටි හිතවාදී දෙමළ ජාතික සංධානය" වශයෙන් ඔවුන්ව හඳුන්වන්නේ ඒ නිසාය.

මෙකී ඡන්ද ව්‍යාපාරයේ රජයන මේ පච හා ඇස්‌බැන්දුම් වැඩවලට අමතරව තවත් අයගේ අවධානයට යොමුවිය යුතු කාරණයක්‌ වන්නේ විපක්‍ෂ වේදිකාවේ මතුවෙන කැකෑරෙන වෛරයයි. මේ මුළු ඡන්ද ව්‍යපාරය තුළම විපක්‍ෂයේ අපේක්‍ෂකයාගේ මුහුණේ සිනාවක්‌ නොවීය. අඩුම වශයෙන් පෝස්‌ටරයක හෝ රූපවාහිනී දැන්වීමකවත් ඔහු සිනාසෙනු කිසිවෙක්‌ දැක නැත. 1982 දී ජනතා විමුක්‌ති පෙරමුණේ රෝහණ විඡේවීරවත් ඒ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. ජ.වි.පෙ. ආත්ම පරිත්‍යාගය හා ජනතාව වෙනුවෙන් දිවි පිදීම වැනි දේවල් ගැන කථා කළ නිසා ඔවුන්ට සිනාසීමට ඇති හැකියාව නැතිවී ඇතැයි අද ජීවත් වන තරුණ පරපුර සිතනු ඇත. නමුත් 1982 දී රෝහණ

විඡේවීර ජනාධිපති අපේක්‍ෂක හැටියට හැම තැනම ගියේ සිනාමුසු මුහුණෙන්ය. ඔහුගේ පෝස්‌ටර් වල සිනහව දත් බෙහෙත් දැන්වීමකට වුවත් ගත හැකි ආකාරයේ එකක්‌ විය. නමුත් මෙම ඡන්ද ව්‍යාපාරයේදී කිසිදු සිනහවක්‌ නැති හැම විටම රවාගෙන සිටින අපේක්‍ෂකයන් ජ.වි.පෙ. විසින් තෝරාගෙන ඇත. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ සිනහව මුළු පළාතක්‌ම එළිය කිරීමට හැකි එකක්‌ විය. නමුත් අද?

මේ රැවුම් සමග එන ගෙරවුම් ද ලොමුදැහැගන්වන සුළුය. විපක්‍ෂයේ අපේක්‍ෂකවරයා හුදෙක්‌ම පෞද්ගලික වෛරය හා කෝන්තර මුල් කර ගනිමින් තරගයට ඉදිරිපත් වී ඇති බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම කළේ ප්‍රසිද්ධ වේදිකාවේ සිට සමාජයේ සියලු කොටස්‌ වලට 27 වනදායින් පසුව බලාගන්නම් යෑයි කියා තර්ජනය කිරීමය. මේ ආකාරයට පොලිස්‌ නිලධාරීන්ගේ කෝට්‌ ගැලවීමටත්, හමුදා නිලධාරීන් යුද අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ආර්ථික විශේෂඥයන් රටින් පන්නා දැමීමටත්, ඔහුට එරෙහි වන සියල්ල බෝගම්බර හා වැලිකඩ සිරගත කිරීමටත් පොරොන්දු වී ඇත.

මෙසේ තමන්ට බලය ලැබුණ හොත් ජනගහනයෙන් බාගයක්‌ පමණ සිරගත කිරීමටත් ඉතිරි අයගෙන් තවත් පිරිසක්‌ රටින් පන්නා දැමීමටත් ජනවරමක්‌ ඉල්ලන අපේක්‍ෂකයකු සර්වජන ඡන්දය ලැබීමෙන් පසු මේ රටේ කිසිදාක සිට නැත. බලය ගැනීමට පෙර ඔහු හැසිරෙන්නේ මේ ආකාරයට නම් බලය ගත් පසු ඔහු කුමන ආකාරයකට හැසිරේවි දැයි සිතාගත හැක.

ලංකාව මේ වන විට දශක 3 ක යුද්ධයකින් යන්තම් ගැලවී ඇත. රට පුරාම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්‌ම ක්‍රියාත්මක වෙමින් පවතී. ඡන්දයට දින ගණනක්‌ තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන්ම ලංකාව දුප්පත් රටවල් ගොඩින් ඉවත්කර මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්‌ හැටියට ප්‍රකාශයට පත් කොට ඇත. රටේ අනාගතය සඳහා ඉතා සුබ පෙරනිමිති පෙනෙන්නට තිබෙන මෙවැනි අවස්‌ථාවක මෙතරම් වෛරයකින් හා ක්‍රෝධයකින් පුපුරන්න හේතුවක්‌ තිබෙනවාද? 1982 ජනාධිපතිවරණයේදී තම ජීවිතයේ කිරීමට බලාපොරොත්තු වූ සියලු දේ ව්‍යර්ත වී තිබුණු රෝහණ විඡේවීරවත් මේ ආකාරයට වෛරයෙන් පිපිරුවේ නැත. ඔහුවත් කිසිදාක ප්‍රසිද්ධ වේදිකාවෙන් මිනිසුන්ට තර්ජනය කළේ නැත.

විධායක ජනාධිපති ක්‍රමයකදී ආණ්‌ඩුව යනු ජනාධිපතිවරයාය. රටක්‌ දේශපාලන වශයෙන් ස්‌ථාවර වනවාද නැත්ද යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ පෞරුෂය මතය. චJද්‍රිකා කුමාරතුංග විසින් බලය ගත්දා සිට හත් අවුරුද්දක්‌ යනතුරු විපක්‍ෂයට අඩම්තේට්‌ටම් කිරීම නිසා මුළු රටම අස්‌ථාවර වූ හැටි කාටත් මතක ඇත. මෙසේ ජනාධිපතිවරිය විසින් ඇතිකරන ලද දේශපාලන අස්‌ථාවරභාවය නිසා රටේ ආර්ථිකයද පසුබෑමකට ලක්‌විය. එකල ආර්ථිකයේ පසුබෑමට කිසිදු බාහිර හේතුවක්‌ නොවීය. උදාහරණයක්‌ වශයෙන් 2008 දී හටගත් ආකාරයේ දරුණු ලෝක ආර්ථික අවපාතයක්‌ එකල නොවීය. 1970 ගණන් වලදී සිරිමාවෝ බණ්‌ඩාරනායක ආණ්‌ඩුව අසාර්ථක වීමට හේතු වූ ලෝක ඛණිජ තෙල් අර්බුදය හා ලෝක ආහාර අර්බුදය වැනි කාරණා කිසිවක්‌ 1995 දී නොවීය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වීමත් සමගම මුළු ආර්ථිකයම එක්‌ වරම පසුබෑමකට ලක්‌ විය. 1998 වන විට ආසියාවේ රටවල් කීපයක මූල්‍ය අර්බුදයක්‌ හටගත්තද එය ලංකාවට දැනුනේ නැත. එයට හේතුව ඊට අවුරුදු 3 කට පෙර සිට ලංකාව පැදුරටම වැටී තිබීමය. ඉන් පල්ලෙහාට වැටෙන්නට තැනක්‌ තිබුණේ නැත. ජනාධිපතිවරයා සමබර මානසිකත්වයකින් නොසිටිය හොත් සියල්ල අවසානය. චන්ද්‍රිකා කුමාරතුංග රට පාලනය කළ මුළු අවුරුදු 12 ටම රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඇයගේ මුළු කාලයම විපක්‍ෂයට ආඩම්තේට්‌ටම් කිරීමේ නොනවතින ව්‍යාපෘතියට යොමු වී තිබුණ නිසාය. මීට කලින් සිටි මානසික සමබරතාවයක්‌ නැති ජනාධිපතිවරුන් පවා සියලු විරුද්ධවාදීන් සිරගත කිරීමට ජන වරමක්‌ ඉල්ලමින් බලයට පැමිණියේ නැත.

විපක්‍ෂයේ අපේක්‍ෂකයා ප්‍රසිද්ධ වේදිකාවෙන් කාට හෝ එරෙහිව තර්ජනයක්‌ කළ විට පැමිණ සිටින සෙනග ඔල්වරසන් නගයි. විපක්‍ෂ රැස්‌වීම්වලට එන සෙනගින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් වන නිසා මේ තර්ජන හා ගර්ජන ඔවුන්ට 1988-89 සමයේ සුන්දර මතකයන් නැවත සිහිගන්වනවා විය හැක. එකල ජ.වි.පෙ. ඕනම පහල මට්‌ටමේ සාමාජිකයකුට එක දුරකතන ඇමතුමකින්, එක තුන්ඩු කෑල්ලකින් ඕනම දෙයක්‌ කරවාගැනීමට හැකි විය. ජ.වි.පෙ. ට 1971 දී හෝ 1989 දී සම්පූර්ණ කිරීමට නොහැකි වූ දෙය දැන් එ.ජා.ප. යේම ඡන්ද පාවිච්චි කොට අත ළඟටම පැමිණ ඇතැයි යන හැඟීම ඔවුන්ට පහළවී ඇතුවා විය හැක. අද මේ රට මුහුණ දෙන්නේ කොටි උවදුරටත් වඩා දරුණු තර්ජනයකටය. කොටියාට දෙමළ මිනිසුන් පාලනය කළ හැකි වුවද අපව පාලනය කළ නොහැකි විය. හෙට දිනයේදී සියලුම ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර ඉතාම කල්පනාකාරීව තීරණයක්‌ නොගත හොත් මේ රට යළිත් ගොඩ නොඑන අගාධයක වැටෙන බව සහතිකය.

No comments:

Post a Comment