Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Thursday, March 11, 2010



Moving Images, Moving People blog

පෙරඹර

අමල් උඩවත්ත-විදුසර

අප කා අතරත් ජනප්‍රිය පියල් අපට මුලින් ම හමු වුණේ අසූව දශකයේ මුල් භාගයේ දී දෙහිවල සත්ත්ව උද්‍යානයේ එවකට සිටි අධ්‍යක්‍ෂ ලීන් ද අල්විස්‌ මහතා ගේ උපදේශකත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා සත්ත්වවේදින් ගේ සංගමයේ සාමාජිකයකු ලෙසිනි. එවකට සත්ත්වවේදීන් ගේ සංගමයේ සාමාජිකත්වය ලබා අධ්‍යාපන කටයුතුවල යෙදුණු පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන, රේගු අධිකාරියේ සමන්ත ගුණසේකර, පරිසර නීතීඥ ආනන්ද නානායක්‌කාර, පර්යේෂක කැළුම් නලින්ද මනමේන්ද්‍රආරච්චි වැන්නවුන් සමග පියල් පරාක්‍රම ද විය. උරගයන් පිළිබඳව අධ්‍යයන කටයුතු කළ අය අතර පියල් ද, ආනන්ද නානායක්‌කාර ද මම ද වීමු. ජගත් ක්‍ෂීරපායින් පිළිබඳව අධ්‍යයන කළ අතර කැළුම් මත්ස්‍යයන් පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරත වූවා මතක ය. අප සැවොම සිතැඟි පරිදි විවිධ ක්‍ෂෙත්‍රවල අධ්‍යයන කටයුතුවල යෙදුණ ද මිතුදම් පැවැත්වූයේ එකා මෙනි. සත්ත්වවේදීන් ගේ සංගමයේ අධ්‍යයන කටයුතුවල නිරත වී කෙටි කලකින් එහි උපදේශකයකු ලෙස කටයුතු කිරීමට පියල් සමත් විය. සර්පයන් අතින් අල්ලා උන් පිළිබඳ තොරතුරු කියා දීමට පියල් දැක්‌වූයේ දැඩි ආශාවකි. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්‌ විය. ඔහු ගෙන් සර්පයන් පිළිබඳව මම බොහෝ දේ උගත්තෙමි.

එක ම නිවසේ සොහොයුරන් ලෙස විවිධ අධ්‍යයන කටයුතුවල යෙදුණු අපට පසුව විවිධ වෘත්තීන්වල නියෑළීම හේතුවෙන් මඳ කලක්‌ ඈත් වන්නට සිදු විණි. අද මෙන් එදා ජංගම දුරකථන හෝ ගෘහස්‌ථ දුරකථනයක්‌ හෝ නො තිබුණ ද ඉඳහිට හෝ මුණ ගැසුණු අප අතර මිතුදම් බිඳී ගියේ නැත. කෙසේ වුවත් මාධ්‍ය සම්මන්ත්‍රණවල දී අප සැමට යළි යළි හමු වීමට ලැබිණි. ජගත් පරිසර නීතීඥවරයකු ලෙසත්, සමන්ත ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා පරිසරවේදියකු ලෙසත්, පියල් නිදහස්‌ අදහස්‌ දරන පරිසරවේදියකු ලෙසත්, මට මාධ්‍යවේදියකු ලෙසත් නැවතත් මිතුදම් අලුත් කරගත හැකි විය. මේ වන විට අපි විවිධ මතවාද දරන, එකිනෙක හා ගැටෙන දේශපාලන දර්ශන දරන්නන් වුවත් පරිසර සංරක්‍ෂණ කටයුතුවල දී බොහෝ විට එක අරමුණක සිට කටයුතු කළෙමු. ඉඳහිට හෝ මාධ්‍ය හමුවක දී අප අතර ප්‍රබල ගැටුම් ඇති වුවත් මිතුරන් ලෙස ගැටුම් ඇති නො වීම අදටත් සිතට ගෙන දෙන්නේ සහනයකි.

බොහෝ අවස්‌ථාවල දී පියල්, තමන් නිවැරැදි යෑයි සිතන මතයේ අපට වඩා ඉදිරියෙන් සිට හඬක්‌ නැඟුවේ ය. දේශීය දේ හිස මුදුනින් අගය කළ පියල්ට ඒ සම්බන්ධව තිබුණු දැනුම ද අනල්ප ය. ගුවන් විදුලිය, රූපවාහිනිය මෙන්ම පුවත්පත ඔස්‌සේ ද ඔහු සිය හඬ පතුරුවා හැරියේ ය. උස්‌මහත් වූ දේහයත්, වටකුරු හිසත් ඔහුට ම ආවේනික වූ දෑසත්, සිනහව හා කතා විලාසයත් පියල්ට මනා පෞරුෂයක්‌ එක්‌ කළේ ය. මේ පෞරුෂය ඔහු ගේ හඬ පතුරුවා හැරීමට මහත් පිටිවහලක්‌ විය.

මාර්තු 3 වැනි දිනය උදා විය. ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන් ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් වැනි නො දිරන ද්‍රව්‍ය භාවිතය පිටුදැකීම පිළිබඳ මාධ්‍ය හමුවක්‌ පුස්‌තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි දී අදහස්‌ දැක්‌වූවන් අතර පියල් ද විය. මෙදින ඔහු ගේ අදහස්‌ දැක්‌වීම වේගවත් විය. පරිසරය දූෂණය කරන දේශපාලනඥයන්ට ඔහු පහර පිට පහර දුන්නේ ය. ඒ ඔහු ගේ පෞද්ගලික අදහස්‌ අනුව ය. පැයක පමණ කාලයක්‌ ගත වීමෙන් පසු මාධ්‍ය හමුව අවසන් විය. ඉන්පසුව තිබුණු තේ පැන් සංග්‍රහයේ දී ජගත්, පියල් සමග මට ද මඳ වේලාවක්‌ සතුටු සාමීචියේ යෙදෙන්නට අවස්‌ථාව ලැබිණි. පියල් මා අමතමින් අමල් ලබන සතියේ විදුසරේ ලිපියක්‌ පළ කරමු යෑයි කිවේ සුපුරුදු සිනාමුසු මුහුණෙනි. පසුදින උදෑසන ම කාර්යාලයට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඉන් කියෑවුණේ පියල් පරාක්‍රම පෙර දින රාත්‍රියේ දී මිය ගිය බවකි. මරණය අප කා හටත් පොදු වුවත් ආරංචිය අදහාගත නොහැකි විය. රාත්‍රියේ හටගත් හෘදයාබාධයකින් පියල් මිය ගොස්‌ තිබිණි. පරිසරය වෙනුවෙන් දිවිය කැප කළ පියල් ඉන් උපයාගත් මුදලක්‌ නැත. පරිසරය විකුණාගෙන කෑවේ ද නැත. කෙටි ආයු කාලයකින් වටිනා දිවියකට විරාමයක්‌ තැබුණේ ශ්‍රී ලාංකීය පරිසරයට එවන් පුද්ගලයකු ගේ නො පිරවිය හැකි හිදැසක්‌ ද තබමින් ය. පියල් දැන් අප අතර නැත. ඔහු නැගු හඬ තව කලක්‌ යන තෙක්‌ ශ්‍රී ලාංකික පරිසරයේ රැව් දෙනු ඇත.

No comments:

Post a Comment