Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Friday, August 5, 2011

නාථ දෙවියන් සමගින් අනාථ වූ මහාචාර්ය නලින් ද සිල්වා

Sri Lanka News-Adadearana-Truth First- Nuwan Udaya Wikkramasinghe

ලොව මහා බලවතා ලෙස තමන්ගේ හයිකාරකම් පෙන්වීම සඳහා දියත් කරන ලද වැඩසටහන් අතරින් ඇමෙරිකාවට දවල් තරු පෙනුණ එක වූයේ වියට්නාම් යුද්ධයයි. කීර්තිමත් ඇමෙරිකානුවන් ලෙස ආරම්භ කළ එය අවසන් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයට අමතක නොවන බාහිර හා අභ්‍යන්තර තුවාල ගණනාවක් ඉතිරි කරමිනි. එක්සත් ජනපදය වියට්නාම් යුද්ධය සාධාරණීකරණය කරද්දී ඊට එරෙහිව කලාකරුවන් ඇතුළු සම්භාවනීය පුරවැසියන් පිරිවරා ඇමෙරිකානු ජනතාවද ඉදිරියට එද්දී තමන් ලද පරාජයේ මානසික වියවුල මකා ගැනීමට හා ඇමෙරිකානුවන්ගේ බිඳවැටුණ චිත්ත ධෛර්යය ගොඩනැඟීමට හොලිවුඞ් සිනමාව හරහා නිපදවුණු යුද සිනමා පට සංඛ්‍යාව සුළුපටු නොවේ. අපට රම්බෝ නම් දැවැන්තයා හමුවනුයේ ඒ අයුරිනි. මුළු සරුවාංගය පුරාම විවිධාකාරයේ ආයුධ එල්ලාගෙන, මස්පිඬු කරකවමින් සිල්වෙස්ටර් ස්ටැලෝන් කළ රංගනයට වියට්නාම් යුද්ධයේ දී ඇමෙරිකාව ලද තුවාල සුව කිරීමට හැකිවූයේ නැත. සිදු වූ එකම දෙය පේ‍්‍රක්ෂකයාට ස්වප්න මෝචනය බඳු තාවකාලික චූන් එකක් ලැබීම පමණි.

සිනමාවේ නොවුණ ද අපේ ලංකාවේ දේශපාලන භූමිය තුළ අපට පසුගිය කාලය පුරාම හමුවු මෙවන් රම්බෝලාගේ සංඛ්‍යාව සුළුපටු නොවේ. ඇතැම් රම්බෝලා පැටලූණේ බන්කි මූන් සමඟ ය. එහෙත් සෙල්ලම අහවර වෙද්දී මූන් වෙනුවට ඔවුන් ගහගනිමින් උන්නේ දරුස්මාන්ගේ හොල්මන සමඟ ය. තවත් රම්බෝලා පිරිසක් දිගින් දිගටම සටන් වැදුණේ අධිරාජ්‍යවාදීන් සමඟ ය. එහෙත් එම අධිරාජ්‍ය විරෝධී සටන ද පෙම්වතකු සමඟ නෝක්කාඩු වූ පෙම්වතියක ඔහු කෙරේ දක්වන අඟර දඟර මුසු කෙඳිරිගෑමකට වැඩි දෙයක් නොවූ බව දැන් පැහැදිලිව හමාර ය. මේ බොහෝ රම්බෝලා ඉතා ඉක්මනින් ජනතාවට එළිදරවු කළේ තමන් වනාහි මැදමුලන රූකඩ මඩුවේ රූකඩ චරිතවලට එහා යාමට බලයක් නැති පුද්ගලයන් බව ය.

කෙසේ වෙතත් මේ සියලූ රම්බෝලා අතර දශක ගණනාවක් පුරා සතුරකු හා සටන් වැද සිටින තවත් ලාංකීය රම්බෝ කෙනෙක් ද අපට සිටියි. ඔහුගේ මහා සටන හැමදාම කෙරුණේ බටහිරයන්ට එරෙහිව ය. මේ සටන කෙතරම් තීව‍්‍ර ද යත් ඔහුගේ තීරු ලිපිවල වැඩියෙන්ම භාවිතාවන වචනය වී ඇත්තේ බටහිරයන් යන්නයි. ඔහු අන් කවරකුවත් නොව මහාචාර්ය නලින් ද සිල්වා මහතා ය. මේ වන විට ලංකාවේ වැඩිම පේ‍්‍රක්ෂක අවධානය දිනගෙන ඇති මෙගා නාට්‍ය බවට පත්ව ඇති ආසනික් පුවතේ මහා වීරයා ද ඔහුම ය. ගණිතය වැනි තාර්කික පදනමක් මත පවතින විෂයක ප‍්‍රමාණික උගතෙක් වන හෙතෙම මෙවර බටහිරයන්ට එරෙහිව සොයාගෙන ඇති නවතම අවිය වනුයේ "නාථායුධයයි".ලංකාවේ නාථ දෙවියන් පිළිබඳ පේටන්ට් අයිතිය දරනා සිය ගෝලබාල රංචුව ද සමඟ මහාචාර්යවරයා අරඹා ඇති සටන මේ දිනවල නැඟලා යන කොමඩියකට දෙවැනි නැති.

සිය දීර්ඝකාලීන පරිණාමය තුළ මිනිසා සැම විටම උත්සාහ දැරුවේ අවිද්‍යාව පරයා ඉදිරියට පැමිණීමට ය. එය ඉතා වේදනාබර අරගලයක් වූ සේ ම එම අරගලය තුළ ලත් කටුක අත්දැකීම් සංඛ්‍යාව ද සුළුපටු නොවේ. එහෙත් එය කෙතරම් දුෂ්කර අරගලයක් වුව ද අවිද්‍යාව වෙනුවට විද්‍යාව සොයා යන ගමනෙන් මිනිසා මඳකට හෝ ඉවත් වූවේ නැති. ඔහු වර්තමානය වන විට මෙතරම් ඉදිරියට පැමිණ සිටින්නේ විද්‍යාව සොයායාම සඳහා දරන ලද ප‍්‍රයත්නය හේතුවෙනි. එහිදී ලොව පවත්නා සියලූම දේවල් විසඳීමට විද්‍යාවට හැකියාව ලැබී නොමැති බව සත්‍යයකි."නාථ මගඩියේ"දී නලින් මහාචාර්යතුමා හා සිහිබුද්ධිය සහිත අයට එකඟවිය හැකි එකම කරුණ එයයි. සැබෑවකි. විද්‍යාවට සියලූ ගැටලූවලට විසඳුම් දීමට හැකිව නොමැත. එසේම එහි ගවේෂණයට ලක්විය යුතු කලාපයන් ද තව බොහෝ ය. එහෙත් එය සත්‍යයක් වූ පමණින් නලින් මහාචාර්යතුමා හා ගෝල පිරිසේ නාථ ප‍්‍රාදුර්භූතය සත්‍යයක් වන්නේ නැත.

ලංකාව මේ වන විට ඉතා සීඝ‍්‍රයෙන් අන්ධ භක්තියේ හා අවිද්‍යාවේ කෙළිමඬල බවට පත්වෙමින් තිබෙන අවාසනාවන්ත බිම්කඩකි. මෙහි වසන මිනිස්සු අතරින් බොහොමයක් කුඩා අවධියේ සිටම දෙවියන් ඇදහීමට හුරුකරුනු ලබන පසුබිමක හැදෙන වැඩෙන පිරිස් ය. ඉහළම තාක්ෂණයෙන් යුත් මෝටර් රථය ආනයනය කරන පුද්ගලයා එය අතට ගත් සැණින් කතරගම දේවාලය බලා දුවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසට ය. අධි තාක්ෂණික මෙවලම්වලින් සමන්විත සිය මෝටර් රථයේ ආරක්ෂාව කෙරේ ඔහු විශ්වාසය රඳවනුයේ මොණරා පිට යතැයි කියනා කතරගම දෙවියන් මත ය. ලංකාවේ ධාවනය කෙරෙනා බොහෝ වාහනවල පඬුරු ගැට ගසා තිබෙන අයුර කෙසේවත් අරුමයක් නොවේ. එසේම පොදු ගමනාගමනයද ඉහළින්ම පිළිගන්නේ දේව සභාව ය. බස් රථවල රියදුරුගේ හිසට ඉහළින් තොරන් සේ බැබලෙන දේව මණ්ඩල කියා පාන්නේ මේ සත්‍යයයි.

"රියදුරු දෑතට දෙවි සරණයි, හැමටම දෙවි පිහිටයි"ආදී වශයෙන් අනේකවිධ වැකිවලින් පිරුණ බස් රියක වගකීම මුළුමනින්ම මේ අනුව රැඳෙනුයේ අප ජීවිතේටවත් දැක නැති දෙවියකුට ය. ඉදින් දැන් බටහිරයන්ට එරෙහිව සටන්වැදී ඉන්නා බවට කැට තියනා අපේ මහාචාර්යවරයාත් මෙහිදී තම සටහන කැඳවා ඇත්තේ නාථ දෙවි කෙනකු ය. ඔහු එසේ කරන්නේ එක් අතකින් ලංකාවේ මිනිසුන්ගේ අන්ධ භක්තික හැඟුම් උගසට තබමිනි. සමස්ත පාලනයම සිය අකාර්යක්ෂමතාව හා නොහැකියාව වසා ගැනීම සඳහා විශාල ව්‍යාපෘතියක් ලෙස ආගම ඉදිරියට ගනිද්දී, රටේ අධ්‍යාපන ඇමතිවරයා පෙරහැරවල් සංවිධානය කරද්දී. නාථ දෙවියන් යනු තමන්ට ඇදිය හැකි හොඳම තුරුම්පු කොළයක් සේ නලින් මහාචාර්යතුමාට වැටහීම අපට පුදුමයක් නොවේ.

අද අප ඉන්නේ මිහිබට දෙවියන් ලෙස අප ඉදිරියේ ඉන්නා එමෙන්ම යස අපූරුවට ඇහැට පෙනෙනා මිනිස්-යක්ෂයින් පිරිසක් සමඟ අපේ හෙට දවස උදෙසා ගනුදෙනු බේරා ගතයුතුව ඇති තත්ත්වයක ය. මේ යක්කු අපේ මූලික මානව හිමිකම්වල සිට අපේ යටඇඳුම දක්වා කොල්ලකෑමේ නිරතව සිටිති. දේශපේ‍්‍රමයට මුවාවී, නලින්ලා එරෙහි වෙන අධිරාජ්‍ය්‍යවාදීන්ට, බටහිරයන්ට කර නවා යටත් වන්නේ ඔවුන්ම ය. ඔවුහු අප ඉදිරියේ දේශපේ‍්‍රමය වගුරුවමින් අධිරාජ්‍යවාදය ඉදිරියේ, ධනවාදය ඉදිරියේ දණ නවා වැඳ වැටෙති. බහු ජාතික සමාගම්, ඇතුළු අන් සියලූ ධනේශ්වර සූරාකෑමේ යාන්ත‍්‍රණ මෙහිදී ක‍්‍රියාත්මක වනුයේ වත්මන් පාලනය ද ඇතුළුව සකලවිධ ධනේශ්වර නියෝජිතයන් අතිනි.එහෙත් බටහිරයන්ට එරෙහි වන, අධිරාජ්‍යවාදයට මාරාන්තික ප‍්‍රහාර එල්ල කරන මහාචාර්යවරයා ආරක්ෂා කරන්නේ ද එම පෙරමුණම හැර අනෙකක් නොවේ. අනෙක් අතින් නාථ ඇතුළු සම්‍යක් දෘෂ්ටික දේව සභාවට ද ඒ ගැන කිසිම විරෝධයක් නැත. එහෙයින්ම නාථ දෙවියන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නා නලින් මහාචාර්යවරයා ඇතුළු ඔහුගේ අනුගාමික පිරිස ආසනික් ප‍්‍රශ්නයට පළමුව මේ ප‍්‍රශ්න කිහිපයකට නාථ පිළිතුරු ලබා දෙන්නේ නම් ඉතා හොඳ ය.

1. සරසවි පනත ද උල්ලංඝනය වන අයුරින් පීඨාධිපතිවරයයකු පත් කිරීම නාථ දෙවියන්ගේ අනුමැතියට එකඟද?

2. මේ රටේම හිමිකරුවන් වන දෙමළ ජනයා දිගින් දිගටම පාගා දැමීම දේව සභාව අනුමත කරන්නේද?

3. ජලයේ ආසනික් දකිනා නාථ දෙවියන්ට හොර පෙට‍්‍රල් නොපෙනෙනුයේ දේව කන්‍යාවියන් සමඟ අනාථව සිටි නිසාද?

4. රටේ ජාතික ධනය කොල්ලකන ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ලැයිස්තුවක් ලබාදීමට නාථදෙවියන්ට නොහැකිද?

5. අතුරුදන් වූ, මරාදමනු ලැබූ, මාධ්‍යවේදීන් ඇතුළු අනෙක් පුරවැසියන්ගේ ජීවිත පිළිබඳව වගකිවයුතු අය හෙළි කිරීමට නාථ දෙවියන්ට හැකිද?

6. ආසනික් සොයා ගත්තා සේ, අඩුම ගණනේ මාරාන්තික රෝගවලට ගොදුරු වීමට නියමිත අසරණ නරපණුවන් කල්තියා ඉන් ගලවා ගැනීමට නාථ දෙවියන්ට නොහැකිද?

7. අධිරාජ්‍ය වී ඇත්තේ මහාචාර්යතුමාට වහකදුරු වී තිබෙන බටහිර පමණක්ද? පාලකයන් ඇතුළු මහාචාර්යතුමාගේ ද අභිනන්දනයට පාත‍්‍රවන නැගෙනහිර පෙරමුණ කුරා කුහුඹුවකුට වත් හිංසා නොකරන මානවවාදී පෙරමුණක්ද?

කෙසේ හෝ වේවා ආසනික් හා නාථාගමනය යන ප‍්‍රශ්නයේ දී නලින් මහාචාර්යවරයාට පාළු ගෙයි වළං බිඳීමේ ක‍්‍රීඩාව කරගෙන යාමට ඉඩ නොදී බුද්ධිමත් ප‍්‍රජාව ඊට විචාරාත්මකව මැදිහත් වන අයුරක් දැන් පෙනෙයි. මහාචාර්යවරයාගේ අනුගාමිකයෝ ද එම මැදිහත්වීම් නොඉවසා ඊට චණ්ඩිකමින් පිළිතුරු දීමට තැත් දැරූ අවස්ථා දෙකක් පසුගියදා පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී හා එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී දක්නට ලැබුණි. ඔවුන්ගේ එම ලක්ෂණ පෙන්නුම්කරන්නේ නාථ අනුගාමිකයන් දේවත්වය කරා ළංව ඇති තරමයි.

ඉඳින් මෙහිදී අපට ද නාථ බළකායට කීමට යම් දෙයක් තිබේ. කැමති භක්තියකුට දේවාල තුළ තනිතනිව හෝ සාමූහිකව නිරුවත් වීමට ඇති අයිතිය පිළිබඳව අපට ප‍්‍රශ්නයක් නැත. එහෙත් ඔවුන් එළියේ නිරුවතින් රඟන්නේ නම් හා අන් අයගේ ද ඇඳුම් ඉරා දමන්නට ද තැත් දරන්නේ නම් ඔවුන් උන්මත්තකයන් ලෙස හැඳින්වීමට අන් අයට ද අයිතියක් තිබේ.

No comments:

Post a Comment