Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Friday, July 31, 2009

දෑල බන්ඩාරගේ අලි ගනුදෙනුව




09/0728 දිවයින
මවු ඇතින්නියන් විලාප දෙද්දී කිරිබොන වයසේ
පැටවුන් දෙදෙනා පින්නවලින් රැගෙන ගිහින්
ජගත් කණහැරආරච්චි

මවු ඇතින්නියන් විලාප නඟද්දී කිරි උරාබොන වයසේ ඇත්පැටවුන් දෙදෙනකු බලහත්කාරයෙන් පින්නවල අලි අනාථාගාරයෙන් ඉවත්කිරීම මහත් අපරාධයක්‌ බවත් මෙම ක්‍රියාව ජෛව මංකොල්ලයකට සමාන කළ හැකි බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

ඉකුත් සෙනසුරාදා රාත්‍රී හතට පමණ ආරක්‌ෂක අංශවල විශේෂ ආරක්‌ෂාව යටතේ පින්නවල ඉපදුණු ප්‍රථම ඇත් පැටවුන් දෙදෙනා මෙසේ මවු ඇතින්නියගෙන් වෙන්කර පිරිසක්‌ විසින් රැගෙන ගොස්‌ තිබේ.

මවු ඇතින්නක කිරි වැරීම සඳහා වසර පහක්‌ ගතකරන අතර මෙසේ රැගෙන ගොස්‌ ඇති ඇත් පැටවුන් දෙදෙනාගේ වයස අවුරුදු තුනයි මාස දෙකක්‌ හා අවුරුදු තුනයි මාස හතර බැගින් වේ.

සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී ගාල්වලින් අලින් ඉවත් කිරීමක්‌ සිදු නොකෙරෙන නමුත් සාම්ප්‍රදායන් බිඳ දමා සිදුකරන ලද මෙම ඇත් පැටවුන් ඉවත් කිරීමේදී මවු ඇතින්නියන් තමන් බැඳ තිබූ විලංගු කඩා දමන්නට තරම් කෝපයකින් පැටවුන් ඉවත්කිරීමට විරෝධය පළකළ බව පින්නවලින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

දළදා මාළිගා පරිශ්‍රය සඳහා අලින් දෙදෙනකු ලබාගැනීමට සිදු කෙරුණු ලිපි ගනුදෙනුවක්‌ මත මෙම ඇත්පැටවුන් දෙදෙනා රැගෙන ගොස්‌ ඇති නමුත් ඒ සඳහා මෙම ලාබාල ඇත්පැටවුන් දෙදෙනාම ලබාගත යුතු බවට සඳහනක්‌ එම ලිපිගනුදෙනුවල නැතැයි මේ අතර තතු දත් ආරංචි මාර්ග "දිවයින" ට පැවසුවේය.

දළදා සමිඳුන් උදෙසා කරනු ලබන පූජෝපහාරයක්‌ ලෙස මෙම ඇත්පැටවුන් දෙදෙනා කිරි වැරීමෙන් පසු ඉතා අභිමානවත් ලෙස දළදා මැඳුරට පරිත්‍යාග කළ හැකිව තිබියදී අනියත බියක්‌ මත මෙසේ පැටවුන් ලාබාල වියේදීම බලහත්කාරයෙන් මෙන් ලබාගැනීම දළදා මැඳුරටත් බුදු සසුනටත් කළ අවමානයක්‌ බව ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙක්‌ සඳහන් කළේය.

තවත් වසර දෙකක්‌ මෙම ඇත්පැටවුන් ඉතා ඉහළ පෝෂණයකින් ඇති දැඩි කර මෙම පරිත්‍යාගය කළ හැකිව තිබූ බවද හෙතෙම පැවැසීය. ලාබාල ඇත්පැටවුන්ගේ පෝෂණය හා ප්‍රතිකාර පිළිබඳ දැනුමක්‌ ඇති පශු වෛද්‍යවරු හෝ අලිබලන්නන් හීලෑ අලි ඇතුන් හිමියන් සතුව නැතිවීම මෙම පැටවුන්ගේ අනාගතය කෙරෙහි බලපා හැකි බවද ඔහු කියා සිටියේය.

09/07/29 දිවයින

ඒ ඇත් පැටවුන් දෙදෙනාගෙන් එකකු දළයකුත් කඩාගෙන
ජගත් කණහැරආරච්චි

ඉකුත් සෙනසුරාදා (18 දා) රාත්‍රි පින්නවල අලි අනාථාගාරයේදී මවු ඇතින්නන්ගෙන් වෙන්කොට බලහත්කාරයෙන් රැගෙන ගිය ළාබාල ඇත් පැටවුන් දෙදෙනා දළදා මාලිගාවේ පරිශ්‍රයෙහි ගරාජයක්‌ තුළ රඳවා සිටියදී හඳුනාගෙන ඇති අතර මේ වන විට එක්‌ පැටවකුගේ දළයක්‌ ද අහිමිවී ඇති බව දැනගන්නට තිබේ.

ඇතින්නන්ගෙන් වෙන්කර බලෙන් රැගෙන යැමෙන් පසු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරුණු මේ පැටවුන් දෙදෙනා ගරාජයේ තිබූ යතුරු පැදියක්‌ හා තවත් බඩුබාහිරාදියට හානිකර ඇත.

මෙහිදී වයස අවුරුදු 2 යි මාස 8 ක්‌ වයසැති පැටවාගේ දළය කැඩීගොස්‌ ඇති බවද කියති.

පැටවුන් දෙදෙනාගේම පාද විලංගුවලින් තුවාල වී ඇති බවද දැනගන්නට තිබේ.

මෙසේ මවු ඇතින්නියගෙන් වෙන්කර රැගෙන ගිය පැටවුන්ගේ වයස අවුරුදු 2 යි මාස 10 ක්‌ හා අවුරුදු 2 යි මාස 8 බැගින් වේ.

දැනගන්නට ලැබෙන පරිදි මේ වන තෙක්‌ පැටවුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරයකු පත්කර නැත.

අලි අපරාධ

එක්‌දහස්‌ අටසිය තිස්‌ ගණන්වලදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණි භයානක මැරයන් දෙදෙනකු ගැන පොත්වල කියවූ දේ අපට සිහිපත් වේ. මේ මැරයන් දෙදෙනාගෙන් එකකුගේ නම මේජර් තෝමස්‌ විලියම් රොජර්ස්‌ ය. අනෙකා සැමුවෙල් බේකර් ය. පළමුවැන්නා ආසියාවේ සහ අප්‍රිකාවේ අලින් ජීවත්වන රටවල ඇවිදිමින් උන්ට වෙඩි තැබීමෙහි නිරත විය. රොජර්ස්‌ විසින් මෙසේ මරණ ලද අලි ඇතුන් ගණන 1500 ඉක්‌මවයි. ස්‌වභාවවේදියකු ලෙස හඳුන්වා ගනිමින් ලෝකය රැවැටූ දෙවැන්නා අලින් මෙන්ම ගෝනුන්, මුවන්, නරින් යනාදී සතුන්ට වෙඩි තබා මරමින් සතුටු විය. හෝටන් තැන්නේ ඇති දියඇල්ල උඩ කඳුගැටයට එන ගෝනුන්ට දිය ඇල්ලෙන් පහළට වැටෙන පරිදි වෙඩි තැබීම ඔහුගේ "වීරකම" විය. අද මේ ප්‍රාණඝාතක නරුමයාගේ නමින් ඒ දියඇල්ල බේකර් දියඇල්ල ලෙස නම් කර ඇත. මේ මහත්වරුන් දෙදෙනාගේ මිනී වළවල් දෙකෙන් එකකට අදටත් අකුණු සැර වදින බව දැනගන්නට තිබේ. ඒ, කාගේ වලටදැයි අපට මතක නැත.

වංශ ජනකතාවට අනුව සිංහලයා සිංහයකුගෙන් පැවැතෙන නමුත් තුන් සිංහලයේ සිංහලයා එදා සිටම ළඟින් ඇසුරු කළ සතා අලියා ය. තම දැවැන්ත ශක්‌තිය සහ බලය නොදත් මේ අහිංසක තිරිසනා දුටුගැමුණු රජතුමාට විජිතපුර සටන දිනවා දීමට උදව් කර තුන් සිංහලය එක්‌ සේසත් කිරීමේ ගෞරවය දුටුගැමුණු රජ සමඟ බෙදා හදා ගත්තේ ය. විජිතපුර සටනින් පසු කණ්‌ඩුල නමැති ඒ ඇතා කිසිදු කාර්යයකට නොයොදා නිදහසේ තැබීමට දුටුගැමුණු රජ නියම කළේය. ඉතා නිදහසේ සැපවත් ජීවිතයක්‌ ගතකර මියගිය කණ්‌ඩුල ඇතා දෙව්ලොව උපන් බව කියනු ලැබේ.

අප මේ සියල්ල ලිවුයේ මන්ද? පින්නවල අලි අනාථාගාරය තුළ සිදු වූ නීච ක්‍රියාවක්‌ ගැන ඊයේ (28 දා) "දිවයිනේ" පළ වූ පුවතක්‌ දැකීමෙනි. ඒ වූකලී පින්නවලදී උපන් පළමුවන ඇත් පැටවුන් දෙදෙනා ඇත් මවුවරුන්ගේ විලාප මැද පැහැරගෙන යැම පිළිබඳ පුවත ය. ඇත් පැටවුන් දෙදෙනා කිරි බොන වයසේ, එනම් අවුරුදු තුනක්‌ වයසැති පැටවු වූහ. ඇත් පැටවෙක්‌ සාමාන්‍යයෙන් වසර 05 ක්‌ මවගෙන් කිරි උරා බොයි. ඒ අතර ඇත් මවක්‌ වසර 05 ක්‌ යනතුරු කිරි නො වරයි. අලි පැටවුන් දෙදෙනා පැහැරගෙන යැමේ කටයුත්තට රජයේ ආරක්‍ෂක අංශ සහභාගි වූහ. එය ඒ මිනිසුන්ගේ රැකියාවයි. ඉහළින් එන නියෝග පිළිපැදීමට ඔවුහු බැඳී සිටිති.

අලි පැටවුන් පැහැරගෙන යැම පිළිබඳ කතාව පසුබිම ඇති කතාව මෙසේයá දළදා මාළිගා පරිශ්‍රය සඳහා ඇතුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා රජයට ඉල්ලීමක්‌ ලැබිණ. රජය එයට අනුමැතිය දුන්නේ ය. එහෙත් මවු ඇකයේ කිරි බොමින් සිටින ඇත් පැටවුන් යුද හමුදාව යොදවා පැහැරගන්නා ලෙස රජය කීවේ නැත. පින්නවල අලි පැටවුන් දෙදෙනා දෙස ඇස ගසාගෙන සිටි අධමයෙක්‌ මුග්ධ ඇමැතියකු සමඟ එක්‌ව ඇත් පැටවුන් දෙදෙනා පැහැර ගැනීමට සැලසුම් කළේ ය. මෙය අරක්‌කු ලයිසමෙන් කසිප්පු පෙරුවාක්‌ වැනි වැඩකි. ගස්‌ මැදීමට ඇති ලයිසමෙන් හොර පොල් කැඩුවාක්‌ වැනි කටයුත්තකි. ආණ්‌ඩුව අවසර දුන්නේ එක්‌ කාරණයකටයි. සිදුවූයේ තවත් දෙයකි. සිය මවුවරුන්ගෙන් වෙන් කරන බව දැනගෙන ක්‍රියාත්මක වීමේ හැකියාව මේ අලි පැටවුන්ට වී නම් ඉකුත්දා කොළඹ බාලිකා විදුහලක සිසුවියක්‌ ගුරුවරුන්ට බියෙන් ටයි පටියෙන් ගෙළ වැලලාගෙන සිය දිවි නසා ගත්තාක්‌ මෙන් උන්ද සිය දිවි නසා ගන්නවා ඇත.

මේ භයානක කොල්ලය ගැන දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිර්මාංශාහාර භක්‍ෂණයෙහි නියුතු ගරු නිලංග දෑල බණ්‌ඩාර මැතිතුමා දැනුවත් කිරීම අපගේ යුතුකම ය. එතුමා මේ බව දැන සිටියේ නම් කිසි කලෙකත් මෙබන්දක්‌ සිදු වන්නේ නැත. පැජරෝ හත අටකින් ගොස්‌ අලි රංචුවල පැටවුන් වටකර උන් පැජරෝවල පටවාගෙනවිත් අලි හිමියන් සතු ඇතින්නියන්ගේ පැටවුන් ලෙස ලියාපදිංචි කිරීමේ ජාවාරමක්‌ ඇත. මේ සියලු කාරණාවලට ගරු ජනාධිපතිතුමා මැදිහත් විය යුතු කාලය දැන් පැමිණ තිබේ. මේ රටේ ඇත් පරපුර රටටම අයත් ජාතික වස්‌තුවකි. එය පැහැරගෙන විනාශ කිරීමට ඉඩ නොදෙමු.

09/07/30දිවයින

පින්නවලින් රැගෙන ගියේ පෙරහැරට ප්‍රදානය කළ
අලි පැටවුන් දෙදෙනෙක්‌

මව් ඇතින්නියක්‌ විලාප දෙද්දී කිරි බොන වයසේ පැටවුන් දෙදෙනා පින්නවලින් රැගෙන ගිහින්" යන සිරස්‌තලය යටතේ ජෛව මංකොල්ලයකට සමාන ක්‍රියාවක්‌ බව සඳහන් කරමින් "පරිසරවේදීහු" යනුවෙන් හඳුන්වාගත් පිරිසකගේ ප්‍රකාශයක්‌ ද සමඟ (28 වැනිදා) දිවයින පුවත්පතේ පළ වී තිබූ ප්‍රවෘත්තිය පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්‌�ත මහනාහිමිවරුන් කරුණු පැහැදිලි කිරීමක්‌ එවා ඇත.

එය මෙසේය.

මෙම ඇත්පැටවුන් දෙදෙනා මල්වතු - අස්‌ගිරි උභය මහා විහාරයන් වෙත පූජා කිරීමට තෝරා ගෙන තිබූ ඇත් පැටවුන් දෙදෙනෙකි. ජුලි මස 16 වැනි දින වන විටත් මෙම ඇත් පැටවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ තෝරාගෙන තිබූ අතර, එම ඇති පැටවුන් දෙදෙනා රැගෙන ඒම මංකොල්ලයකට සමාන කර දැක්‌වීම කිසිසේත් උචිත නොවේ.

වර්තමානයේ හීලෑ ඇතුන්ගේ සංඛ්‍යාව 120 කට පමණ සීමා වී ඇති අතර, එයින් 90 දෙනකු පමණ වැඩිවිය පත් අලි ඇතුන් වෙයි. ඒ නිසා ආගමික මෙන්ම සංස්‌කෘතික වටිනාකමක්‌ ඇති පෙරහැර මංගල්ලයන්ට යොදා ගත හැකි අලි ඇතුන් සංඛ්‍යාව අතිශයින් දුර්වල වී ඇත. මේ නිසා ඇති වී ඇති දුෂ්කරතාවන් හඳුනාගත් රජය කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය මත මෙම ප්‍රදානය සිදුකරන බව රහසක්‌ නොවේ.

අලි ඇතුන් මරා දමන විට දැඩි හඬක්‌ නොනඟන පරිසරවේදීහු ශ්‍රී දළදා මාලිගාවේ හා සෙසු දේවාලවල පෙරහැර මංගල්‍යයන්ට යොදා ගැනීම සඳහා ප්‍රදානය කිරීමට තෝරාගෙන තිබූ ඇත් පැටවුන් දෙදෙනා රැගෙන ඒම කෙරෙහි විරෝධය දැක්‌වීමේදී පෙනී යන්නේ ඔවුන් අපේ බෞද්ධ ආගමික සංස්‌කෘතික මංගල්‍යයන් සාම්ප්‍රදායික ලෙස පවත්වා ගෙන යැම නො ඉවසන පිරිසක්‌ බවයි.

එමෙන්ම මෙම ඇත් පැටවකුගේ දතක්‌ බිඳීයැම පිළිබඳවද සඳහන් කොට ඇත. එය කලින් සිදු වී ඇති අනතුරක්‌ බවත්, එම බිඳී යැම සම්බන්ධයෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගත්තේ නම්, ව්‍යසනයක්‌ සිදුවීමට පවා ඉඩ තිබූ බව ද සඳහන් කරන අතර, ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත්, හීලෑ අලි ඇතුන්ට අවශ්‍ය වන පශු වෛද්‍ය සේවා හා උපදෙස්‌ ලබා ගැනීමට කිසිදු අපහසුතාවක්‌ නොමැති බවත් මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමු.

මෙම ඇත් පැටවුන් දෙදෙනා රැගෙන ඒම ශ්‍රී දළදා මාළිගාව සිදුකළ මංකොල්ලයක්‌ නොවන බවත්, ඔවුන් පූජා කිරීම සිදුවූයේ පෙරහැර මංගල්ලයන්ට යොදා ගැනීම සඳහා මල්වතු අස්‌ගිරි උභය මහා විහාරයන්ට බවත් අවධාරණය කරනු කැමැත්තෙමු

09/0731 දිවයින
පින්නවලින් අලි පැටව් ගෙනාවේ නීති විරෝධිව නොවෙයි
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කියයි
සිරිල් විමලසුරේන්ද්‍ර

පින්නවල අලි අනාථාගාරයෙන් අලි පැටවුන් දෙදෙනකු ගෙනාවේ නීති විරෝධී ලෙස නොවන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ (30 දා) මාධ්‍යයට පැවසීය.

මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට පූජා කිරීමට අලි පැටවුන් දෙදෙනකු ගෙන ගියාම කෑ ගසන රාජ්‍ය නොවන සංවිධාන මීට පෙර අවස්‌ථාවක පින්නවලින් අලි පැටවකු ජපානයට ගෙන යන විට කෑ ගැසුවේ නැතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

පින්නවලින් ගෙනා අලි පැටවුන් දෙදෙනා හිංසා පීඩාවලින් තොරව නිදහසේ තම ඇත් ගාලේ සිටින බවද හෙතෙම පැවසීය.

කුඩා අලි පැටවුන් දෙදෙනා ඇතුන්ද යන වග දැන්ම කීමට පුළුවන් කමක්‌ නැතැයි ද හෙතෙම පැවසීය.

අලි පැටවුන් දෙදෙනා බලහත්කාරයෙන් නොගෙනා බවත් රාත්‍රි කාලයේ නොගෙනා බවත් දියවඩන නිළමේ පැවසීය.

සති තුනකට පමණ පෙර අලි පැටවුන් දෙදෙනා තෝරා ගෙන ඔවුන් ගෙන ඒම සඳහා ඉල්ලීමක්‌ කළ අවස්‌ථාවේ ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවසර ලබා දුන් බවද දියවඩන නිළමේ පැවසීය.

මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ අලි පැටවුන් දෙදෙනා ගෙන ඒම සඳහා වැඩම කිරීමටත් ඔවුන් විහාරස්‌ථානවලදී රැක බලා ගැනීමටත් පහසුකම් නොමැති බැවින් ඔවුන් තමන් භාරයේ සිටින බවද හෙතෙම පැවසීය.

ඩොලර්වලට කෑ ගසන රාජ්‍ය නොවන සංවිධාන කුකුලන් හරකුන් වැනි සතුන් විශාල වශයෙන් මේ රටේ මැරීම ගැන කතා කරන්නේ නැති බවද දියවඩන නිළමේ පෙන්වා දුන්නේය.

ඔය කෑ ගසන මිනිසුන්ට වඩා දස ගුණයකින් මා සතුන්ට ආදරේ යෑයි හෙතෙම තවදුරටත් පැවසීය.

09/07/31 දිවයින
ජනපතිට අලි දුක දැනේ
ජගත් කණහැරආරච්චි

පින්නවල අලි අනාථාගාරයේ සිටියදී මව් ඇතින්නන්ගෙන් වෙන්කොට දළදා මාළිගා පරිශ්‍රයට රැගෙන ගොස්‌ ඇති ලාබාල ඇත් පැටවුන් දෙදෙනා වහාම යළිත් පින්නවල අනාථාගාරයේ මව් ඇතින්නන් වෙත මුදාහරින ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ බලධාරීන්ට නියෝග කොට ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඊයේ (30 දා) සඳහන් කළේය.

මේ අනුව වයස අවුරුදු 2 යි මාස 10 ක්‌ වන "රාජු" නමැති ඇත් පැටවා සහ වයස අවුරුදු 2 යි මාස 8 ක්‌ වයසැති "සින්දු" නමැති ඇත් පැටවා මෙසේ යළිත් පින්නවල සිටින මව් ඇතින්නන් වෙත යෑවෙන බව ද එම ආරංචි මාර්ග කියා සිටියේය.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම ඇත් පැටව් ගනුදෙනුව පිළිබඳ ජනතා අප්‍රසාදය පළ වී තිබිණි.


09/07/31 දිවයින
අලි අපරාධ - 2
ධර්ම සාක්‍ෂිය සහ හෘද සාක්‍ෂිය


පින්නවල අලි අනාථාගාරයේ ඉපිද, එහිම ඇති දැඩි වෙමින් සිටි කිරි බොන වයසේ ඇත් පැටවුන් දෙදෙනකු ඇත් මවුවරුන් දෙදෙන විලාප තබද්දී යුද හමුදාව සහ පොලු මුගුරු ගත් සාහසිකයන් යොදවා රැගෙන යැම පිළිබඳව "දිවයිනේ" පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ ගරුතර මහා නායක තිබ්බටුවාවේ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ ගරුතර මහා නායක උඩුගම බුද්ධරක්‌�ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එවන ලද කරුණු දැක්‌වීමක්‌ ඊයේ (30 වැනිදා) දිවයින මුල් පිටුවේ පළ වී ය. මෙරට බුද්ධාගමේ මුදුන් මල්කඩක්‌ බඳු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ උතුම් භාරකරුවන් වන උන්වහන්සේ දෙනමගේ සිත් තුළ ධර්ම සංවේගයක්‌ ඇති කිරීමට අපගේ ප්‍රවෘත්තිය ඉවහල් වී නම්, උන්වහන්සේලාගේ පා දස දහස්‌ වාරයක්‌ නමැද සමාව ඉල්ලීමට අප සූදානම් ය. එහෙත් මේ සිද්ධිය පිටුපස සිටින ගිහි හොරුන් සහ අලි බිස්‌නස්‌කාරයන් පිළිබඳව අපගේ ස්‌ථාවරය කිසි කලෙකත් වෙනස්‌ වන්නේ නැත. මෙවැනි සොරුන්ට අපායේදී අනුභවයට ලැබෙන්නේ ගිනි අඟුරු ය. අඳින්නට ලැබෙන්නේ රතු පැහැයෙන් දිලෙන ගිනියම් වූ ලෝහ ඇඳුම් ය. ඔවුන් එහිදී වචනයක්‌වත් කීමට කට ඇරියොත් වහා ලෝ දිය වත් කරනු ලැබේ.

ගරුතර මල්වතු - අස්‌ගිරි නායක හාමුදුරුවන් වහන්සේ දෙනමද මෙරට වැඩ සිටින සෙසු සියලු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ද දන්නා පරිදි මේ රටේ අලි හොරුන් සුදු අඳින්නට පෙර සිටම "දිවයින" රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටියේ ය. සිංහල ජාතිය හා බුද්ධාගම ගැන කතා කිරීම පාපයක්‌ව තිබූ සහ බෝම්බ පහර කෑමට තරම් වරදක්‌ව තිබූ සටන් විරාම කාලයේදී පවා "දිවයින" පෙර කී කාරණා සම්බන්ධයෙන් පෙනී සිට එකල පැවැති රජයේ උදහසට ලක්‌විය. ඉතින් ගරුතර හාමුදුරුවනේ "දිවයින"ට නැතිවන්නට දෙයක්‌ ඇතොත් ඒ වූ කලී රට ජාතිය හා ආගම ය. ඒ උතුම් ත්‍රිත්වය රැක ගැනීමට "දිවයින" දිවි හිමියෙන් ක්‍රියා කරනවා ඇත.

මේ නිවේදනයට ගරුතර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් අත්සන් කළත් ඒ නිවේදනය පිළියෙළ කළේ වෙනත් පාර්ශ්වයක්‌ බව අපි දනිමු. ඔවුන් ගරුතර ස්‌වාමීන් වහන්සේ දෙපළ නොමඟ යවා ලියෑවිල්ලට අත්සන් ලබාගෙන ඇති බව අපගේ විශ්වාසයයි. දළදා මාලිගාවට ඇත් පැටවුන් දෙදෙනකු ලබා ගැනීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් රජය අවසර ලබා දුන් බව ඇත්ත. එහෙත් ඇත් මවුවරුන්ගෙන් කිරි උරා බොන පැටවුන් කැඳවාගෙන එන ලෙස එම නියෝගයේ නැත. මේ ඇත් පැටවුන් ප්‍රවාහනය කිරීමට යුද හමුදාව කුමටද? මෙය සෙනසුරාදා දහවල් කාලයේදී සිදු නොකර රාත්‍රි කාලයේදී සිදු කළේ ඇයි? කිරි බොන දරුවකු මවකගෙන් වෙන් කිරීම බුදු වදනට කළ ගැරහුමකි.

ගරුතර මහා නායක ස්‌වාමීන් වහන්සේගේ නමින් නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන් වන පරිදි, ඇත් පැටවුන් දෙදෙනා මවුවරුන්ගෙන් වෙන් කිරීමට එරෙහිව කතා කරන අය මේ රටේ බෞද්ධ ආගමික සංස්‌කෘතික මංගල්‍යයක්‌ සාම්ප්‍රදායිකව පවත්වාගෙන යැම නො ඉවසන අය වෙති. අප ගරුතර ස්‌වාමීන් වහන්සේගේ දෙපා නමැද කියා සිටින්නේ එබඳු කුමන්ත්‍රණකාරයන් උන්වන්සේලාගේ අතේ දුරින් දැනට වසර තුනක පමණ සිට ගැවසෙන බවයි. එහෙත් උන්වහන්සේ ඒ බව නො දනිති. ගරුතර හාමුදුරුවනේ, මේ රටේ සිටින සමස්‌ත ඇත් පරපුරමත්, මතු උපදින්නට සිටින ඇත් පරපුරත් දළදා මාලිගයට පූජා කිරීමට යෝජනාවක්‌ එන්නේද, අප සාධුකාර දී එයට එකඟ වෙමු. එහෙත් ඒ පූජාව කරන්නේ මස්‌ කඩ කාරයන් පින් කරන ආකාරයට නම් අප එයට විරුද්ධ වෙමු. ඇත් පැටවුන් දෙන්නා සම්බන්ධයෙන් නිකුත් කළ කැබිනට්‌ පත්‍රිකාවේ පිටපතක්‌ අප සතුව ද ඇත. රෑ හතට හමුදාව සමඟ පැමිණ කිරි බොන ඇත් පැටවුන් ගෙන යන ලෙස එහි නැත.

ගරුතර නායක ස්‌වාමීන්වහන්සේගේ දැන ගැනීම සඳහා තවත් කාරණයක්‌ කියමු. පැහැරගත් අලි පැටවුන් දෙදෙනා මෙල්ල කිරීම සඳහා උන්ට පහර දී රත් කළ යකඩ වලින් සිරුරු පුළුස්‌සා තිබේ. අපට තිබෙන එකම ප්‍රශ්නය මෙයයි. මේ සා වධ බන්ධනයට ලක්‌ කර ඒ කිරි සප්පයන් හිරකර ගාල් කර තබන්නේ කුමක්‌ සඳහා ද යන්නයි.

අපගේ වැටහීම නම් මේ පහත් ක්‍රියාව රජය හා ජනාධිපතිතුමා අපහසුතාවකට පත් කිරීමට ගත් කොන්ත්‍රාත්තුවක කොටසක්‌ බව ය. යන්තම් මේ රට ගොඩ ආවා පමණි. එය යළි වළට දමා අලින් ලවා පෑගවීමට යත්න දරන බව පෙනේ.


No comments:

Post a Comment