Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Tuesday, November 10, 2009

පින්වත් ජෙනරාල් සරත් ෆොන්සේකා විරු පියාණෙනි!




පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්‌වාමීන් වහන්සේ

දෙස්‌ විදෙස්‌ බලවේග විසින් වසර තිස්‌ දෙකක පමණ වූ කාලයක්‌ පුරා මෙහෙයවන ලද කුරිරු යුද්ධයෙන් අප නිදහස ලබා මේ මොහොත වන විට ගත වී ඇත්තෙ මාස පහකුත් දින කීපයක්‌ පමණි. අප විසින් ලබා ගන්නා ලද ඓතිහාසික විජයග්‍රහණයේ උණුසුම වියෑකී යන්නට ද ප්‍රථමයෙන් අප විසින් ලබා ගන්නා ලද විජයග්‍රහණය ආපසු හැරවීම සඳහා කුමන්ත්‍රණයක්‌ දියත් කිරිමට එකී බලවේග මේ මොහොත වන විට කටයුතු කරමින් සිටින බවට පැහැදිලි සාධක ඇත.

මෙකී බලවේග විසින් සිය කුමන්ත්‍රණය දියත් කිරීම සඳහා වූ අවස්‌ථාව ලෙස තෝරා ගෙන ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි. මෙම යෝජිත ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට පැහැදිලි ජයග්‍රහණයක්‌ අත්වන බවට පැහැදිලි සාධක තිබේ. ඒ මන්ද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වසර තිස්‌ දෙකක කුරිරු යුද්ධය සාර්ථකව ජය ගැනීම සහ මේ මොහොත වන විට දියත් කොට ඇති කටයුතු අනුව යෝජිත මැතිවරණයේ එතුමාට ජය අත්විය යුතු යන්න අපගේ ද ස්‌ථාවරය වේ. අප එබඳු වූ ස්‌ථාවරයක පසුවන්නේ වසර තිස්‌ දෙකක යුද්ධය පරාජය කරමින් ලබා ගන්නා ලද ජයග්‍රහණය තහවුරු වීම සඳහා එතුමා තවදුරටත් බලයේ සිටීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වන බැවිනි. අනෙක්‌ අතට යුද්ධය අවසන් වීමට ප්‍රථමයෙන් ආරම්භ කරන ලද වැඩ කටයුතුවලින් පැහැදිලි වන්නේ එතුමා මේ රට සංවර්ධිත රටක්‌ බවට පත්කිරිමේ මාර්ගයේ රැගෙන යන බවයි.

රටක්‌ සංවර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය මූලික සාධකය වන්නේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌ වී ඇති බව මා නිරත වී ඇති විදේශ සංචාරවලදී අවබෝධ වී ඇත්තෙමි. මීට වසර විසිපහකට ප්‍රථම මා තායිලන්තයේ සංචාරයේ නිරත වූ අවස්‌ථාවේදී දැක ගත හැකි වූයේ නොදියුණු මාර්ග පද්ධතියක්‌ සහිත පැල්පත් වලින් ගහණ රටකි. නමුත් මීට වසර පහළොවකට පමණ පෙර මම එම රටේ සංචාරය කරන විට දැක ගත හැකි වූයේ කැලෑ මැදින් ඉදි වූ කොන්ක්‍රීට්‌ මාර්ග පද්ධතියයි. නමුත් ඒ මොහොත වන විටත් එම මාර්ග දෙපස පැල්පත්වල ජනතාව ජීවත් වුන අයුරු මම දැක ඇත්තෙමි. නමුත් අද එම රටෙහි සංචාරය කරන විට පැල්පත්වල ජීවත් වූ ජනතාව අද මන්දිරවල ජීවත්වන අයුරු දැක ගත හැක. එම තත්ත්වයේ ආරම්භය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම බව පැහැදිලිය. මේ මොහොත වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දියත් කර ඇති වැඩපිළිවෙළ තුළ, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, දියත් කළ වැඩපිළිවෙළ ගැබ්වී තිබෙන අයුරු දැක ගත හැක. මෙම හේතු සාධක නිසාද, එතුමා විසින් කරන ලද ඓතිහාසික කාර්යභාරය නිසා ද යෝජිත ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට ජනතාව ජයග්‍රහණය කරවන බව පැහැදිලිය. (දැනට ආර්ථික අපහසුවක්‌ පැවතුන ද එය බොහෝ ඉක්‌මණින් සමනය වන බව පැහැදිලිය. එම හේතු සාධක මෙම ලිපිය තුළින් අනාවරණය කිරීමට බලාපොරොත්තු නොවෙමු.)

එය එසේ සිදු නොවන්නේ නම් රටේ අවාසනාවට, අයහපතට හේතු විය හැක. අතීතයේදී විජය රජු තමාට උදවු උපකාර කළ කුවේණීට පිටුපෑමේ ශාපය මේ රටට උරුම වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. යෝජිත ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් කිරීම යළිත් වරක්‌ අප මාතෘ භූමියට එබඳු ශාපයක්‌ අත්වීමට හේතුවිය හැකි බැවින් අප ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එහෙත් මේ පිළිබඳව බොහෝ දේශපාලනඥයන්ට අබමල් රේණුවක්‌ තරම්වත් හැඟීමක්‌ නොමැත.

අප ඒ සඳහා කළ යුතු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී අවබෝධයෙන් කටයුතු කිරීමයි. මේ රටේ තිබෙන සියලුම දේශප්‍රේමී පක්‍ෂ මේ මොහොත වන විටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අත්වැල් බැඳගෙන ඇති බව මම අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. තවදුරටත් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් වැළකී සිටින්නේ කොටි සංවිධානයේ විනාශය අපේක්‍ෂා නොකළ සහ විවිධ න්‍යාය පත්‍ර යටතේ කටයුතු කළ පක්‍ෂ කිහිපයක්‌ පමණි.

එම පක්‍ෂවල දේශප්‍රේමී පුද්ගලයෝ කිහිපදෙනෙකු සිටිය හැකි වුවත් එම පක්‍ෂ දේශප්‍රේමී පක්‍ෂ ලෙස හඳුන්වා දිය නොහැක. අප විසින් කොටි සංවිධානය පරාජය කර ලබා ගන්නා ලද ඓතිහාසික ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා දෙස්‌ විදෙස්‌ බලවේග විසින් යොදා ගැනීමට සූදානම් වන්නේ මෙම දේශපාලන පක්‍ෂයි. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මෙම සියලු දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ වී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග කළත් අද වන විට එතුමා පරාජය කළ නොහැකි වීමයි. මෙම පසුබිම තුළ දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකාරී බලවේග විසින් "කැලේ නැසීම සඳහා කැලේ එකෙකුම ඕන" යන කියමන ක්‍රියාවට නැංවීමට සූදානම් වන බවටත් මේ වන විට තොරතුරු හෙළිදරවු වෙමින් පවතී.

මෙම බලවේගවල නියෝජිතයන් පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය දක්‌වාම ප්‍රකාශ කොට සිටියේ ආණ්‌ඩුව යුද ජයග්‍රහණය විකුණමින් සිටින බවකි. ආණ්‌ඩුවට එලෙස චෝදනා කළත් දැන් පවතින තොරතුරුවලින් පැහැදිලි වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔවුන් ද යුද්ධය විකිණීමට සූදානම් වන බවකි.

මෙම උපාය තුළ මෙම දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකාරී බලවේග සූදානම් වන්නේ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකු ලෙස හිටපු හමුදාපති හා වත්මන් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීමයි. ජෙනරාල් ෆොන්සේකා මහතාගේ කැමැත්ත මේ දක්‌වා ප්‍රකාශයට පත් වී නොතිබුණත් ඔහු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් දෙකක්‌ තිබෙන බව වාර්තා වේ. එම සැලසුම් දෙක වන්නේ,

01. ආණ්‌ඩුවට එරෙහි බලවේගවල පොදු අපේක්‍ෂකයා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම.

මෙම සන්ධානයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. මෙම සටන් පාඨය තුළ ජනතා විමුක්‌ති පෙරමුණට පවා පොදු අපේක්‍ෂකයාට ඡන්දය දීමේ අවස්‌ථාව උදා වේ. මෙබඳු උපක්‍රමයක්‌ 1995 දී පැවැති ජනාධිපතිවරණයේදී පවා ජනතා විමුක්‌ති පෙරමුණ අනුගමනය කළ අතර, එම අවස්‌ථාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කොට සිටියේ ජනාධිපතිවරණය ජනමත විචාරණයක්‌ සේ සලකා කටයුතු කරන ලෙසයි.

02 දෙවන සැලසුම වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික සන්ධානයේ අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට අමතරව තවත් පොදු අපේක්‍ෂකයකු මැතිවරණයට ඉදිරිපත් කිරීමයි.

මෙම අපේක්‍ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමේ අපේක්‍ෂාවක්‌ එම පෙරමුණේ නායකයන් තුළ පවතින බව ද වාර්තා වේ. මේ මොහොත වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මුල්කර ගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක්‌ දියත් කර ඇති බැවින් තුන්වැනි අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවාද යන මතය ද බැහැර කළ නොහැක. මෙම තුන්වන අපේක්‍ෂකයාගේ කාර්යභාරය විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමට නියමිත ඡන්ද විශාල ප්‍රමාණයක්‌ තමා වෙත ලබා ගෙන මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කොට රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරීමට අවස්‌ථාව උදා කරදීමයි.

මෙම සැලසුම් දෙකටම අනුව ඒ සඳහා ඉතාම සුදුසු පුද්ගලයා වන්නේ සරත් ෆොන්සේකා මහතා වන බැවින් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයන්ගේ එකම තේරීම වී ඇත්තේ ඒ මහතාය. එබැවින් මෙම තීරණාත්මක අවස්‌ථාවේ සරත් ෆොන්සේකා මහතා ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය යන්න මම ඉතා හිතෛෂීව අවධාරණය කරමි.

මෙහිදී සරත් ෆොන්සේකා මහතා කුමන්ත්‍රණකාරී බලවේගවල ෙච්තනාව කුමක්‌ ද යන්න පිළිබඳව පළමුව අවධානය යොමු කළ යුතු වේ. අද සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට වලිකන පුද්ගලයන් අතීතයේ දී එතුමා "ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු බවත්, හමුදාවට කිලිනොච්චියට කියා මැදවච්චියට යන බවත්, ඕනෑම ගොනෙකුට යුද්ධ කිරීමට පුළුවන් බවත්, ප්‍රභාකරන්ට පැන යැමට හමුදාdව ඉඩදුන් බවත්" චෝදනා කළ පුද්ගලයන් බව මෙහිදී සඳහන් කළ යුතුය. ඒ වගේම මෙම පුද්ගලයන් සරත් ෆොන්සේකා මහතා ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන යැමට වලි කෑ බවත් මෙහිදී මෙනෙහි කළ යුතුය.

විවිධ අවස්‌ථාවලදී විවිධ චෝදනා කරමින් සරත් ෆොන්සේකා මහතාට අපහාස කොට කොටි සංවිධානයේ විනාශයෙන් ගලවා ගැනීමට උත්සාහ දරා අවසානයේදී එය අසාර්ථක වූ තැන ඔහු අධිකරණයට හෝ ගෙන ගොස්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඒ සියලු උත්සාහයන් අවසානයේ සරත් ෆොන්සේකා මහතා විනාශ කිරීමට මෙම කුමන්ත්‍රණකාරී බලවේග තෝරාගත් නවතම උපාය ඔහු ඡන්දයට ඉදිරිපත් කිරීමට වන්නට බැරි නැත.

මෙම තීරණාත්මක අවස්‌ථාවේදී කළ යුත්තේ කුමක්‌ද යන්න තීරණය කිරීමේදී සරත් ෆොන්සේකා මහතාට වැදගත් විය හැකි අවස්‌ථා කිහිපයක්‌ මෙහිදී මා සඳහන් කරන්නේ සරත් ෆොන්සේකා මහතාට ආදරය ඇති භික්‍ෂුන් වහන්සේ නමක්‌ ලෙසිනි.

පළමුවෙන් සරත් ෆොන්සේකා මහතා අවධානය යොමු කළ යුත්තේ මෙම ලිපිය ලියන මා දේශපාලනයට අවතීර්ණ වීමෙන් අත්වූ අයහපත් ප්‍රතිඵල පිළිබඳවය. මා මහමැතිවරණයට තරග කිරීමට තීරණය කළේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් හදිසියේ අපවත් වූ අවස්‌ථාවේදී ය. මාගේ තක්‌සේරුව අනුව නම් එම අවස්‌ථාව වන විට මෙරට වැඩ සිටින තරුණ ධර්ම කථිකයන් වහන්සේ අතර මා පෙරමුණේ පසුවිය. නමුත් මා ඡන්දයට ඉදිරිපත් වීම ප්‍රකාශයට පත් කළ මොහොතේ සිට ජනතාව මාගෙන් දුරස්‌ වන තත්ත්වයක්‌ උදා විය. එම තත්ත්වය යළි යථා තත්ත්වයට පත් වීමට බොහෝ කාලයක්‌ ගත වූ අතර, විශාල කැපකිරීමක්‌ කිරීමට සිදුවිය.

මාගේ තක්‌සේරුව වන්නේ යම්කිසි විදියකින් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වුවහොත් මට අත් වූ ඉරණම ඔහුට ද අත්වන බවයි. සරත් ෆොන්සේකා මහතා තිස්‌ දෙවසරක කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා තීරණාත්මක කාර්යය භාරයක්‌ කැපවීමෙන් ඉටු කළත්, එම යුද්ධය අවසන් කිරීමේ පළමු ගෞරවය හිමිවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාටය. මෙම තත්ත්වය තුළ සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිනවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වුවහොත් එය කනගාටුදායක තත්ත්වයකි. එතුමා මේ මොහොත වන විට ජනතාව හමුවේ හිමි කර ගෙන තිබෙන ප්‍රතිරූපය බිඳ වැටීම නොවැලැක්‌විය හැක.

මෙම තීරණාත්මක අවස්‌ථාවේදී සරත් ෆොන්සේකා මහතා උදාහරණයට ගත යුතු අනෙක්‌ පුද්ගලයා වන්නේ තවත් හමුදා විරුවෙකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ය. ඒ මහතා මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වූ පළමු අවස්‌ථාවේදී මා එතුමා හමු වී සාකච්ඡා කළෙමි. එම අවස්‌ථාවේදී මැතිවරණයට ඉදිරිපත් නොවිය යුත්තේ ඇයි යන කාරණය මා විසින් පෙන්නා දෙනු ලැබූවත් ඔහු තමාට එම පක්‍ෂයේ දෙවන තනතුර හිමිවන බවත්, තමා මැතිවරණයට ඉදිරිපත්වීම සාධාරණීයකරණය කිරීම සඳහා තවත් හේතු සාධක ඉදිරිපත් කරන ලදී. නමුත් අවසානයේ දී ඔහු බලාපොරොත්තු වූ කිසිදු කරුණක්‌ ඉටු නොවූ අතර අවසානයේදී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගැනීමට ද සිදුවිය. එදා එතුමන්ට මා සිහිපත් කළේ "ඔබ වතුර ඇදපු කළය බිඳ ගැනීමක්‌ කරන බවත්, ඔබ සිය දිවි හානි කර ගන්නවා හා සමාන බවත් ය."

සරත් ෆොන්සේකා මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉදිරිපත් වී ඇති යෝජනා සලකා බැලීමේදී ඉහත සඳහන් පුද්ගල අත්දැකීම් සැලකිල්ලට ගත යුතු අතර, මහින්ද රාජපක්‍ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණ ගොඩනඟන සන්ධානයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන්නේ නම් සරත් ෆොන්සේකා මහතා එම අවස්‌ථාවේදී අවධානය යොමු කළ යුතු තවත් කරුණු කිහිපයක්‌ ද තිබේ.

ජනතා විමුක්‌ති පෙරමුණ සම්බන්ධ වී දේශපාලනය කළ ආරිය බුලේගොඩ මහතා වැනි පුද්ගලයන් අතීතයේදී අතරමං වූ අතර අනුර බණ්‌ඩාරනායක මහතා අවසානයේදී දේශපාලන වශයෙන් අනාථ වී මරණයට පත් වූයේ ද ජනතා විමුක්‌ති පෙරමුණ පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළ බැවිනි. (මා මේ කරුණු අනාවරණය කරන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ කෙරෙහි ද්වේශ සහගතව හෝ පළිගැනීමේ හෝ අපහාස කිරීමේ අදහසින් නොව, සරත් ෆොන්සේකා මහතා පිළිබඳ සෙනෙහසිනි. ඇත්තටම එම පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිපදාව වන්නේ පුද්ගලයන් ප්‍රයෝජනයට ගැනීමයි. බොහෝ විට එය ජනතා විමුක්‌ති පෙරමුණේ පමණක්‌ නොව වර්තමාන දේශපාලනයේ රටාව වී තිබේ.

මෙම සියලු කරුණු නොතකා හරිමින් අවසානයේදී සරත් ෆොන්සේකා මහතා වෙත ඉදිරිපත් වී ඇති ඉල්ලීම් පිළිගැනීමට එතුමා තීරණය කරන්නේ නම් ඉන් අනතුරුව එළඹිය හැකි තත්ත්වයන් පිළිබඳවත් මෙහිදී සඳහන් කළ යුතුය.

සරත් ෆොන්සේකා මහතා පිළිබඳ තතු දන්නා පුද්ගලයන් ඔහු හඳුන්වන්නේ ඩිසිප්ලීන් කමාන්ඩර් කෙනෙකු ලෙසිනි. නමුත් දේශපාලනය කියන්නේ ජරා සෙල්ලමකි. එම සෙල්ලම තුළ ඇතිවන වාද විවාද ඔස්‌සේ ඓතිහාසික ජයග්‍රහණයන් ලැබීම සඳහා එක්‌ව කටයුතු කළ පිරිසක්‌ දෙපසට වී චෝදනා කර ගැනීම, අතීතයේදී ඔබ ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ යනුවෙන් ප්‍රකාශ කළ පුද්ගලයන්ගේ මනදොළ සපිරීමක්‌ වන බව සඳහන් කළ යුතුය. ඒ වගේම දේශපාලන භූමිය තුළ එකිනෙකා අභිබවා යැමට චෝදනා කර ගැනීම තුළ යුද රහස්‌ පවා හෙළිදරව් වීමට ඉඩ ඇත.

එය ඓතිහාසික ජයග්‍රහණයට දායක වූ සියලු දෙනාම යුද අධිකරණය වෙත ගෙන යැමට බලාසිටිනා දෙස්‌ විදෙස්‌ බලවේගවල අපේක්‍ෂාව ඉටුවීමක්‌ බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

එහෙත් මට තවමත් සිතෙන්නේ අප එතරම් අවාසනාවන්ත නොමැති බවයි. අපගේ ඉතිහාසය දෙස බලන විට හොඳින් පෙනී යන කරුණක්‌ වන්නේ කුමන උපද්‍රවයක්‌ පැමිණියත් අවසානයේදී අප රට ආනුභාව සම්පන්න ලෙස අසිරිමත් ලෙස ජයග්‍රහණය ලබා ඇති බවයි. මීට මාස පහකුත් දින කිහිපයකට පෙර අප ලබා ගත් ඒ අසිරිමත් ජයග්‍රහණයෙන් එම ඓතිහාසික තත්ත්වය යළිත් තහවුරු වනවා යන්න මාගේ විශ්වාසයයි.

එහෙත් කුමන ආනුභාවයක්‌, අසිරියක්‌ ඇති වුවත් එම ජයග්‍රහණය ලබා ගත්තේ ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා සහ හමුදාපති ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිස උරෙන් උර ගැටී එකා මෙන් කටයුතු කළ නිසා ය.

කොටි සංවිධානය පරාජය කළ ඒ අසිරිමත් ජයග්‍රහණය මෙන් තවත් ජයග්‍රහණ අපගේ මාතෘ භූමිය අපේක්‍ෂා කරන මේ මොහොතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ඒකාබද්ධ මෙහෙයුම් ආඥපති සරත් ෆොන්සේකා මහතාත් තවදුරටත් එක මඟ ගමන් කළ යුතුය යන්න මාගේ ප්‍රාර්ථනාවයි. මේ ව්‍යායාමය ඒ සඳහාම ය.

එය එසේම වේවා!

No comments:

Post a Comment